විජයදාසට විරුද්ධව විනය පරීක්ෂණයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය විජේදාස රාජපක්‍ෂ මහතාට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇතැයි එම පක්‍ෂයේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී හෙතෙම සඳහන් කර සිටියේ, අදාළ විනය ක්‍රියාමාර්ගයේ ස්වභාවය ඇතුළු වැඩිදුර තීරණ අද (19දා) පැවැත්වීමට නියමිත පක්‍ෂ නායක රැස්වීමේදී තීරණය කරන බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

වත්මන් ආණ්ඩුව පත්වූ පසු විජේදාස රාජපක්‍ෂ මහතාට රාජ්‍ය අමාත්‍යාංශයක් ලබාදීමට කටයුතු කළ බවත්, එහෙත් ඔහු විසින් එය ප්‍රතික්‍ෂේප කර කැබිනට් අමාත්‍ය ධුරයක් ඉල්ලා සිටි බවත් පාලක ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ඒ අනුව එම සිදුවීම හේතුවෙන් විජේදාස රාජපක්‍ෂ මහතා දිගින් දිගටම ආණ්ඩුවට විවිධ චෝදනා ඉදිරිපත් කරන බව පැවසූ පාලක ලේකම්වරයා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින්,

“විජයදාස රාජපක්‍ෂ මහතා ප්‍රතිපත්තිමය කාරණා සම්බන්ධයෙන් විවේචනය කළා නම්, කමක් නෑ. රජය තේරීපත්වුණාට පසු විජයදාස රාජපක්‍ෂ මහතාට අපි රාජ්‍ය අමත්‍යාංශයක් භාර දුන්නා. ඔහු එය බාර ගන්න බෑ කියලා කැබිනට් අමාත්‍ය ධුරයක්ම ඉල්ලා සිටියා. අමාත්‍යධුරයකට ලඝු කරලා රටේ ජාතික ප්‍රශ්නයක් ගැන එතුමා කතා කරනවානම්, එවන් පුද්ගලයන් සම්බන්ධව පක්‍ෂයක් ලෙස අපි ක්‍රියාමාර්ග ගත යුතුයි.

ආණ්ඩු පක්‍ෂ කණ්ඩායම තුළදී කතා කරන්න අවස්ථාවක් තිබෙනවා. ඊට අමතරව ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා එක්ක පැහැදිලි කර ගැනීමක් අවශ්‍යනම්, එතුමාට ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කරන්න තිබුණා. එවැනි ඉල්ලීමක් එතුමා සිදු කර නැහැ. එකවරම මාධ්‍යයට ගිහින් ප්‍රකාශයක් කරන්න පක්‍ෂයක සාමාජිකයෙකුට සුදුසු නැහැ.

එතුමා මේ පනත පිළිබඳ නොවෙයි විවේචන කළේ. ඔහුගේ විවේචන අද ඊයේ එකක් නොවෙයි. ඒ නිසා පක්‍ෂයක් විදියට අපි බරපතළව විනය ක්‍රියාමාර්ග ගත යුතුව තිබෙනවා. පක්‍ෂය එය තීරණය කර තිබෙනවා. ඒ අනුව එම විනය ක්‍රියාමාර්ගයේ කුමක්ද යන්න පක්‍ෂ නායක රැස්වීමේදී තීරණය කිරීමට නියමිතයි” යැයිද පවසා සිටියේය.