කෝටි හාරදාහකට සිද්ධ වූ දේ ගැන සෞඛ්‍ය ඇමැතිනියට රනිල් ප්‍රශ්න

කොරෝනා වෛරසය පාලනය කිරීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් රුපියල් කෝටි හාරදහසකට අධික මුදලට සිදුවු දේ රට හමුවේ හෙළි කරන ලෙස හිටපු අග්‍රාමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යවරියට අභියෝග කර තිබේ.

ආණ්ඩුව ගෙන යන කොරෝනා මර්දන ව්‍යාපාරයට විරුද්ධ නොවී හැකි සහයෝගය ලබා දීමට පක්ෂයක් ලෙසත්, විපක්ෂයේ ඇතැම් පක්ෂ සමග තීරණය කළ බව පවසන එක්සත් ජාතික පක්ෂයේ නායකයා සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ඉල්ලා සිටියේ කෝටි හාරදහස් දෙසීයක මුදල වියදම් කළ ආකාරය සම්බන්ධයෙන් විස්තර ලබා දෙන ලෙසයි.

“අපි එක ඉල්ලීමක් කරා. මේ රටේ පරීක්ෂණ පවත්වන්න. අඩු වශයෙන් පන්දාහක් පවත්වන්න. ඒ ඉල්ලීම අපි විශේෂයෙන්ම කළේ රටේ ජනතාව වෙනුවෙන්. අපි වෙනුවෙන් නෙමෙයි. ඒත් අවාසනාවකට ඒ ඉල්ලීම ඉටු කරලා නෑ.”

සිව් වරක් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යධුරය හොබවා ඇති එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ඒ බව සදහන් කළේ මහ මැතිවරණය සදහා තරග කරන කළුතර සහ මාතර දිස්ත්‍රික් නියෝජිතයන් අමතමිනි.

ජනතාව වෙනුවෙන් විපක්ෂය සිදුකළ ඉල්ලීම ඉටු නොකළේ ඇයිදැයි ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන එක්සත් ජාතික පක්ෂයේ නායකයා අවධාරණය කරන්නේ ඒ සම්බන්ධයෙන් විමසීමේ අයිතිය විපක්ෂය සතු බවයි.

මුඛවාඩම් මිලියන 20ක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලැබුන මුදලින් රටේ සියලු ජනතාව අතර බෙදා හැරීම සදහා මුඛ ආවරණ මිලියන 10 ක් නොව මිලියන 20 ක් වුවත් ගෙන්වීමේ හැකියාව පැවති බව පෙන්වා දෙන රනිල් වික්‍රමසිංහ සිය නියෝජිතයන් හමුවේ අවධාරණය කළේ දිනකට පරීක්ෂණ 5000 ක් නොව 10000 ක් සිදු කිරීමට අවශ්‍ය පරීක්ෂණ යන්ත්‍ර ගෙන්වීමේ හැකියාව පැවති බවයි.

“ඔය ඩොලර් මිලියන 230 න් පරීක්ෂණ යන්ත්‍ර ගේන්න තිබ්බා දවසට පන්දාහක් නෙමෙයි දහ දාහක් කරන්න. ඒත් මුදල් ඉතුරු කරගන්නත් තිබුනා. අපිට වෙන්ටලේටර් ගේන්න තිබුනා ”

සෞඛ්‍ය සංවිධානයෙන් ලැබුන මුදල් වියදම් කර කොරෝනා මර්දන මධ්‍යස්ථානය හොදින් සකස් කිරීමේ හැකියාව පැවැති බව පෙන්වා දෙන එජාප නායකයා වැඩි දුරටත් සදහන් කළේ වෛරස් මර්දනය සදහා සෞඛ්‍ය හා හමුදා නිලධාරීන් පුහුණු කිරීම සදහාත් එම මුදල් යෙදවීමේ හැකියාව පැවති බවයි.

කොරෝනා මර්දන රාජකාරියේ නියුතු නිලධාරීන් සෑම දෙනාම සදහා ආරක්ෂිත ඇදුම් ලබා දීමේ හැකියාවත් එමගින් පැවැති බව පෙන්වා දෙන රනිල් වික්‍රමසිංහ එහිදී අවධාරණය කළේ එසේ නොකිරීමේ ප්‍රතිළුලයක් ලෙස නාවික හමුදා සාමාජිකයන්ට කොරෝනා වෛරසය ආසාදනය වු බවයි.

“මේ එකක්වත් කරේ නෑ. මේ එකක්වත් කරේ නෑ. දැන් ආණ්ඩුව මැද පෙරදිග ඉන්න ශ්‍රී ලාංකිකයන් ලංකාවට ගේනවා. සමහරු ඒ ගැන මාධ්‍යයේ ප්‍රශ්න කරනවා මම දැකලා තියනවා. මම කියන්නේ මේ මුදල් හරියට යෙදෙව්වනම් මේ සියලු දෙනාම ලංකාවට ගෙනල්ලා විශේෂ මධ්‍යස්ථාන වල තියන්න ඉඩ තිබුනා ඕනනම් සුමාන දෙකක් නෙමෙයි තුනක් උනත් තියාගන්න තිබුනා.”

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබා දුන් මුදල් මෙරට කොරෝනා වෛරස් මර්දනය සදහා ආණ්ඩුව යෙදවා ඇතිදැයි යන්න සම්බන්ධයෙන් හිටපු අගමැතිවරයා එහිදී සැක පළ කළේය.

” ඇත්තවශයෙන්ම මේ මුදල් යොදවලා තියනවාද කියලා මම අහන්න කැමතියි. මේ මුදල් යෙදෙව්වේ නැත්නම් මොකක්ද කළේ? රුපියල් කෝටි 4200 ක්. ඒක විශාල මුදලක්. ”

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරටට ලැබුන මුදල රටේ ජනතාවට ලැබුන මුදල් බව පෙන්වා දෙන රනිල් වික්‍රමසිංහ එහිදී තව දුරටත් අවධාරණය කළේ එම මුදල් වලට සිදු වු දේ දැන ගැනීමේ අයිතිය ජනතාව සතු බවයි.

පාර්ලිමේන්තුව නැති කලෙක

රටේ පාර්ලිමේන්තුවක් පැවැතියේනම් එය ප්‍රශ්න කිරීමේ හැකියාවක් පැවැති බව පෙන්වා දෙන එජාප නායකයා වැඩි දුරටත් අවධාරණය කරන්නේ රටේ පාර්ලිමේන්තුවක් නොමැති මොහොතක එම කරුණු රටට හෙලි කිරීම රජයේ යුතුකමක් බවයි.

“ඒ නිසා මම දැන් අභියෝග කරනවා සෞඛ්‍ය ඇමැතිතුමියට රටට කියන්න රටේ සෞඛ්‍ය ආරක්ෂා කරන්න කොහොමද මේ මුදල් වියදම් කරේ?”

මුදල් නිසි ලෙස නොයෙදවීම නිසා රටේ ජනතාව දුක් විදින බව පවසන එජාප නායකයා එහිදී චෝදනා කළේ එම තත්වයට සෞඛ්‍ය ඇමැතිවරිය වග කිව යුතු බවයි.

කොරෝනා වසංගතයට ශ්‍රී ලංකාවේ හදිසි ප්‍රතිචාර දැක්වීම සහ සෞඛ්‍ය අංශ සූදානම් කිරීම සදහා ඩොලර් මිලියන 128 ක සහනදායි ණය මුදලක් ලබාදීමට අනුමැතිය හිමි වු බව ලෝක බැංකුව විසින් පසුගිය අප්‍රේල් මාසයේදී නිවේදනය කර තිබුනි.
කොරෝනා වසංගතය හමුවේ ජනතාවගේ මුදල් එකතු කරගැනීම සඳහා ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග රැස්කොට මේජර් ජනරාල් කේ. බී එගොඩවෙලගේ නායකත්වයෙන් පවත්වාගෙන යන COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය ජුනි 9 වන විට ශේෂය රුපියල් මිලියන 1374 ඉක්මවා ගිය බව ජනාධිපතිවරයා විසින් නිවේදනය කර තිබේ.

Comments are closed.