පොලිස් විශේෂ කාර්ය බළකායේ නව අණදෙන නිලධාරී වරුණ ජයසුන්දර රාජකාරී අරඹයි

පොලිස් විශේෂ කාර්ය බළකායේ නව අණදෙන නිලධාරී ලෙස නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතා එම මූලස්ථානයේදී පෙරේදා (11) රාජකාරි ආරම්භ කළේය.

සහකාර පොලිස් අධිකාරිවරයකු වශයෙන් 2001 පෙබරවාරි මස 01 වැනිදින පොලිස් සේවයට බැඳී ඇති ඒ මහතා විශේෂ කාර්ය බළකාය වෙත 2002 අප්‍රේල් මස 25 වැනිදින එක් වී ඇත. විශේෂ කාර්ය බළකාය තුළ වසර 16ක සේවා කාලයක් සම්පූර්ණ කර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුර දක්වාම විශේෂ කාර්ය බළකායේ රාජකාරි සිදුකර ඇති අතර ඉන් අනතුරුව සාමාන්‍ය පොලිස් රාජකාරි සඳහා උතුරු ප්‍රදේශය ට පිටව ගියේය.

මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති ඒ මහතා නවදිල්ලි විශ්ව විද්‍යාලයෙන් වාණිජ වේදී උපාධිය, ඕස්ට්‍රේලියාවේ සිඞ්නි විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර නීතිය පිළිබඳ පශ්චාත් උපාධිය, ගැටුම් නිරාකරණය කර ගැනීම පිළිබඳ පශ්චාත් උපාධිය හා නීතිවේදී උපාධිය හදාරා ඇත. 2018 පෙබරවාරි මස 01 වැනි දින නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස්වීම් ලද ඒ මහතා විශේෂ කාර්ය බළකාය තුළ බුද්ධි කොට්ඨාසය මෙහෙයවමින් කැපී පෙනෙන සේවයක් සිදුකර ඇත.

Comments are closed.