කාලේ බෝතලයට පොල්ලක් වැටීමේ අවදානමක්

දුම් පානය සහ මධ්‍යසාර භාවිතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දිනකට අවම වශයෙන් අසු පස් දෙනකු මිය යන බව හෙළිකරන දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරීයේ සභාපතිවරයා ඊට පිලියමක් වශයෙන් කාලේ බෝතලය අහෝසි කිරීමට යෝජනා කර සිටී.

“දුම් වැටි මධ්‍යසාර නිසා දවසකට අසු පස් දෙනෙක් මිය පරලොව යනවා. අනික් මත් ද්‍රව්‍යයත් එකතු උනොත් අසුවක් සීයක් විතර මිය පරලොව යන මහා භයානක වසංගතයක් ගැන අපි මේ කතා කරන්නේ”

සිල්ලරට සිගරට් විකීනීම ශ්‍රී ලංකාව තුළ නවතා ගතහොත් සියයට අසුවක්, අනුවක් ප්‍රතිශතයකින් දුම් පානය කිරීම නවතා ගත හැකි බවයි දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරීයේ සභාපති ආචාර්ය, වෛද්‍ය සමාධි රාජපක්ෂ පවසන්නේ.

සිල්ලරට සිගරට් විකීනීම ශ්‍රී ලංකාව තුළ නවතා ගැනීමෙන් නවක තරුණයන් දුම්පානයට පෙළඹීමත් සියයට අසුවක් අනුවක් ප්‍රතිශතයකින් නවතා ගත හැකි බව ඔහු සදහන් කළේ අගෝස්තු 26 බදාදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කර තිබු මාධ්‍ය හමුවක් අමතමිනි.

“කාල ක්‍රියා” කිරීම ශ්‍රී ලංකාවේ ජනතාව වැඩි වශයෙන් මද්‍යසාර පානය කිරීමේ ක්‍රමවේදය බව පෙන්වා දෙන වෛද්‍ය සමාධි රාජපක්ෂ එහිදී අවධාරණය කළේ කාලේ බෝතලය අහෝසි කිරීම සදහා අණ පනත් ගෙන ඒමට සාකච්ඡා කරමින් සිටින බවයි.

“මොකද හේතුව 2019 වර්ෂයේදී විතරක් මිලියන 300 ක් බෝතල් මේ ක්ෂේත්‍රයට එකතු උනා. වීදුරු බෝතල්. එහෙම එකතු උනාම මේ තියන පරිසර හානිය ඩෙංගු උවදුරවල් අනෙක් සියල්ල. ”

පසුගිය වසර වල බියර් කෑන් පමණක් මිලියන් 160- 190 ක් මේ ක්ෂේත්‍රයට එකතු වු බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති එහිදී වැඩි දුරටත් සදහන් කළේය.

ගෙදරදී හා වැඩපලේදී කාන්තාවන්ට හානි

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් සියයට විසි දෙකක් තමන්ගේ නිවස තුලදීම අක්‍රීය දුම්පානයට ගොදුරුවීම ඛේදවාචකයක් බව පවසන වෛද්‍ය සමාධි රාජපක්ෂ එහිදී වැඩි දුරටත් පෙන්වා දුන්නේ මෙරට කාන්තාවන්ගෙන් සියයට එකොළහක් රාජකාරි ස්ථානය තුලදී අක්‍රිය දුම් පානයට ගොදුරු වන බවයි.

දුම්කොල සහිත බුලත් විට සැපීමෙන් ඇතිවන මුඛ පිළිකා හේතුවෙන් ශ්‍රී ලංකාවේ දිනකට තිදෙනෙකුට දිවි අහිමි වන බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරීයේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මීට ඉහතදී පවසා තිබුනි.

දුම්වැටි සහ මධ්‍යසාර නිවාරණය පිණිස නව ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමේ පුහුණු වැඩසටහනක දේශනයක් අගෝස්තු 25 අඟහරුවාදා පවත්වමින් මනෝ වෛද්‍ය විශේෂඥ අමිල ඉසුරු පෙන්වා දී තිබුනේ දුම් පානය නිසා මානසික රෝග ද ඇති වන බවයි.

Leave A Reply

Your email address will not be published.