ජාතිවාදය ගැන අධිකරණ ඇමැතිට මුජිබර් රහුමාන් ගෙන් අභියෝගයක්

ජාතිවාදීන්ට එරෙහිව පියවර ගැනීමේ සැබෑ උවමනාවක් ආණ්ඩුවට ඇති නම් නීතියෙන් පියවර ගන්නා ලෙස විපක්ෂයේ මුස්ලිම් මන්ත්‍රීවරයෙක් අධිකරණ අමාත්‍යවරයාට අභියෝග කර සිටී.

“දැන් මදුමාධව අරවින්ද මැතිතුමා, පහුගිය කාලයේ ජාතිවාදී ප්‍රකාශ ගණනාවක්ම කරා. ජාතිවාදී ප්‍රකාශ විතරක් නෙමෙයි ප්‍රචණ්ඩත්වය අවුලුවන ප්‍රකාශත් කරා. පසුගිය මාස දෙක තුන කිහිපය තුලදී. ඒ හින්දා දැන් අධිකරණ ඇමතිතුමාට පුළුවන් ඔහුට විරුද්ධව ICCPR යටතේ නීතිය ක්‍රියාත්මක කරන්න”

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඒ බව සදහන් කළේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට පොහොට්ටුවෙන් ඉදිරිපත් වු අපේක්ෂකයකු ජාතිවාදය ඇවිස්සූ බව අධිකරණ අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ පිළිගැනීමත් සමගය.

“අති විශාල වශයෙන් අපිට පෙනුනා ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිළුලය දැක්කම අපිට මුස්ලිම් ඡන්ද ඕනේ නෑ. දෙමළ ඡන්ද ඕනේ නෑ. අපිට ඕනේ මොනවද එක ඡන්දයක් විතරයි කියලා තරග කරපු අය ලිස්ට් එකේ අන්තිමට,” යැයි ජනාධිපති නීතිඥ අලි සබ්රි අමාත්‍යවරයා පසුගියදා රැස්වීමකදී පවසා තිබුනි.

මෙවර මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග වැදුනු පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මදුමාධව අරවින්ද මනාප ලේඛනයේ අවසන් ස්ථානය දක්වා පසු බැස තිබුනි.

ඔහු සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී ඡන්දදායකයන්ට කියා සිටියේ තමන් ඉල්ලා සිටින්නේ සිංහල ඡන්ද පමණක් බවයි.

පසුගිය කාලය තුළ ජාතිවාදය ඇවිස්සිමේ ප්‍රකාශ කළ විශාල පිරිසක් සිටින බව පෙන්වා දෙන මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා අධිකරණ අමාත්‍යවරයාගෙන් වැඩි දුරටත් ඉල්ලා සිටියේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත (ICCPR) යටතේ ඔවුනට නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

ආගම් අතර බේද ඇති කිරීමට එරෙහි නීතියක් ලෙස ගැනෙන ICCPR පනත අයුතු ලෙස යොදා ගනිමින් විරුද්ධවාදීන් දඩයම් කරන බවට ආණ්ඩුවට මේ වන විට දේශීය හා ජාත්‍යන්තර වශයෙන් දැඩි විවේචන ඉදිරිපත් වී තිබේ.

Leave A Reply

Your email address will not be published.