දෙමළ ජනයා වෙනුවෙන් 2/3 න් දෙකෙන් කළ හැකි දේ TNA මන්ත්‍රී රාසමානික්‍යම් පාර්ලිමේන්තුවට කියයි (video)

“එක රටක් එක නීතියක් ” ජනාධිපතිවරයාගේ සංකල්පය යටතේ දෙමළ ජනයාගේ ප්‍රශ්න සදහා විසදුම් ලබා දිය යුතු බව දෙමළ ජාතික සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පිවිසි නවක මන්ත්‍රීවරයකු පවසයි.

භාෂා ත්‍රිත්වයෙන්ම පාර්ලිමේන්තුවේ සිය මංගල කතාව සිදු කරමින් අගෝස්තු 27 බ්‍රහස්පතින්දා රාසමානික්‍යම් ශානක්‍ය මන්ත්‍රීවරයා සදහන් කළේ තුනෙක් දෙකක බලයක් ලැබී ඇති ආණ්ඩුවක් යනු වැඩ කළ හැකි ආණ්ඩුවක් බවයි.

ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න විසදීම සදහා එවන් ආණ්ඩුවක් භාවිත කළ යුතු බව ඔහුගේ අදහසයි.

මෙරටේ ද්‍රවිඩ දේශපාලන සිරකරුවන් වසර ගණනාවක් සිරගතව සිටියත් ඔවුන් සම්බන්ධයෙන් කිසිදු තීන්දුවක් ලැබී නැති බව පෙන්වා දුන් ශානක්‍ය මන්ත්‍රීවරයා, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිරගතව සිටි කාලයේදී සිදු කළ ප්‍රකාශයක්ද ආවර්ජනය කළේය.

” ගරු නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමත් ගිය පාර්ලිමේන්තුවේදී කියලා තිබ්බා එතුමා හිරේ ඉන්නකොට මේ දේශපාලන සිරකරුවන් එක්ක හිටියේ. ඒගොල්ලන්ට තීන්දුවක් ඒ ආණ්ඩුවෙන් ලබා දෙනවා කියලා කිව්වා එතුමාගේ ආන්ඩුවක් ඇති උනොත් ”

තාත්තාගේ සහ බාප්පාගේ ආණ්ඩුව

වර්තමාන රජය “පියාගේ සහ බාප්පාගේ ආණ්ඩුව” ලෙසින් හැඳින්වූ ඔහු මෙවන් මොහොතක දේශපාලන සිරකරුවන් වෙනුවෙන් නීතිමය පියවර ක්‍රියාත්මක කර ඔවුනට නිදහස ලබා දෙන ලෙස රාසමානික්‍යම් මන්ත්‍රීවරයා නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

උතුරේ ත්‍රිවිධ හමුදාව භාවිත කරන දෙමළ ජනයාට අයත් පෞද්ගලික ඉඩම් “එක රටක් එක නීතියක් ” යටතේ වහාම නිදහස් කර දෙන ලෙස ඉල්ලා සිටි රාසමානික්‍යම් ශානක්‍ය මන්ත්‍රීවරයා තුනෙන් දෙකේ බලයක් සහිත ආණ්ඩුවෙන් තව දුරටත් ඉල්ලා සිටියේ අතුරුදහන් වුවන්ට සිදුවූ දේ ප්‍රකාශයට පත් කරන ලෙසයි.

” එක රටක් එක නීතියක් නම් සිංහල අම්මා කෙනෙක්ටත්, දෙමළ අම්මා කෙනෙක්ටත් ඒ අම්මගේ පුතාට මොකද උනේ, ඒ අම්මගේ දුවට මොකද උනේ තමන්ගේ සැමියට මොකද උනේ කියන එක අහන්න ඇත්තටම ඒ අයිතිය තියනවා. ”

අතුරුදහන් වු පිරිස් ජීවතුන් අතර නොමැතිනම් ඔවුනට සිදුවු ඉරණම හෙළි කරන ලෙස ඉල්ලා සිටි මන්ත්‍රීවරයා එහිදී වැඩි දුරටත් ඉල්ලීම් කළේ සිංහල නියෝජනයක් පමණක් සහිතව පුරා විද්‍යා උරුමයක් ආරක්ෂා කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් පිහිටවු කාර්ය සාධක බලකායට දෙමළ නියෝජිතයන්ද පත් කරන ලෙසයි.

Leave A Reply

Your email address will not be published.