නොරොච්චෝලේ අක්‍රිය වීමෙන් දිනකට පාඩුව කෝටි 700ක් – ලංකා විදුලි පොදු සේවක සංගමය

නොරොච්චෝලේ බලාගාරය අක්‍රිය වීමෙන් උද්ගතව ඇති තත්වය තුළ දෛනික විදුලි අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ඩීසල් බලාගාරවලින් විදුලිය ලබාගැනීමට සිදුව ඇති බවත් මෙහිදී දිනකට රුපියල් කෝටි 700ක පමණ පාඩුවක් රටට සිදුවන බවත් ලංකා විදුලි පොදු සේවක සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ මහතා පවසයි.

“නොරොච්චෝලේ බලාගාරය ආරම්භ කරලා අවුරුදු 10ක් වෙනවා. අවුරුදු 10ක් වෙනකොට අපට ඒකෙ නඩත්තු කටයුතු කරන්න පුළුවන් වෙන්න ඕනෙ. හැබැයි අද අපට පේනවා ඒ හැකියාව තාම අපට නෑ. අපට මොකක් හරි වුණාම චීනයේ සහාය පතන්න වෙලා තියෙනවා. ඒ නිසා බරපතළ ප්‍රශ්නයක් තියෙනවා.

17 වනදා විදුලිය බිඳවැටීමේදී පද්ධතිය සක්‍රිය කරන්න ගිය කාලය වැඩිවීම මත ලක්විජය බලාගාරයේ අදියර තුනම අක්‍රිය වෙලා තියෙනවා. එකක් ට්‍රිප් වුණා, තව බලාගාර දෙකක් පද්ධතියට ගන්න බැරිනිසා ෂට් ඩවුන් කරලා තියෙනවා. මේ ෂට්ඩවුන් කරපු බලාගාරයක් නැවතත් ක්‍රියාත්මක කරන්න දින කිහිපයක් යනවා. එතකොට ඒ දින කිහිපය සඳහා ගන්න වෙන්නෙ ඩීසල්වලින් විදුලිය. දිනකට කෝටි 700ක පමණ පාඩුවක් වෙනවා රටට මේ වෙලාව වෙනකොට.

නොරොච්චෝලේ අපෙ බලාගාරය ආසන්නයේ තියෙනවා සුළං බලාගාරයක්. මෙගාවොට් 60ක් සුළං බලයෙන් ජනනය වෙනවා. දැන් මාසයකට ආසන්න කාලයකට පෙර එතන ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරලා ගියා. ඒක නිසා මේ වෙනකොට ඒ මෙගාවොට් 60 එන්නෙ නෑ. ඇයි මේ ට්‍රාන්ස්ෆෝමරය පිපිරුවෙ කිව්වොත් ඒක හරියට නඩත්තු කරලා නෑ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

මාලක වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (18) දිනයේදී විදුලි අර්බුදය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Comments are closed.