විස්සට සහාය දුන් SJB මන්ත්‍රීන් පක්ෂයෙන් නෙරපීමට යයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ 20 වැනි සංශෝධනයට එරෙහිවීමට සමගි ජන බලවේගය ඒකමතිකව තීරණයක් ගෙන තිබූ බවත් ඊට විරුද්ධ වූ මන්ත්‍රීවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියා මාර්ග ගන්නා අතර ඔවුන් මන්ත්‍රී ධුරයෙන් නෙරපීමට කටයුතු කරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පැවසීය.

එලෙස සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 20 වැනි සංශෝධනයට සහය පළ කළේ මුදල් සහ ඇමති ධුර වෙනුවෙන් බව කොළඹ විපක්ෂනායක කාර්යාලයේ අද (25දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සදහන් කළේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ අතර රටට කෝවිඩ් 19 බෝ කිරීම ආණ්ඩු විසින් සිදු කළ බවත් මේ වන විට එය සමාජ ගත වී ඇති බවත් ඔහු සදහන් කළේය.

“අපි පැහැදිලිව කියන්න ඕනි මේවට ඡන්දේ දුන්න අය කියනවා රට වෙනුවෙන් ඒක කරේ කියලා.නමුත් ඡන්දේ දුන්නේ සල්ලි සහ ඇමතිකම් වෙනුවෙන්.රටේ මිනිස්සු එච්චර මෝඩ නැති බව ඒ ඡන්දේ දුන්න අය පිළිගෙන නෑ. අපි ඉතාම පැහැදිලිව කියන්න ඕනී සමගි ජන බලවේගය විදියට රටේ මතයට විරුද්ද වුණ සියලු දෙනාට දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නවා පමණක් නෙවෙයි ඒ අය පක්ෂයෙන් නෙරපා හැරලා මන්ත්‍රී ධුරයෙන් නෙරපා හැරීමට උපරීම ක්‍රියාමාර්ග ගන්නවා.

මේකෙන් අපිට හොද පාඩමක් තියෙනවා.ඒක තමයි අවස්ථාවාදී දේශපාලඥයන්ට ,අවස්ථාවාදී දේශපාලන න්‍යාය පත්‍ර තිබෙන කණ්ඩායම් වලට අපිත් එක්ක තවදුරටත් ගමනක් යන්න සුදුසු නෑ. අපට ඔවුන් එක්ක ඉන්න බෑ.

ඒ නිසා සෑම තැනම සමගි ජන බලවේගය පක්ෂයක් විදියට මේ රටේ සියලු ජාතීන් සියලු ආගම් සියලුම මට්ටමේ පුරවැසියන් එකතු කර ගෙන ඒ සෑම කුලකයම නියෝජනය කරන අන්තවාදී නොවන ,ජාතිවාදී නොවන,ත්‍රස්තවාදී නොවන කණ්ඩායම් එකතු කර ගෙන රටේ අලුත් පරපුරත් සමග අලුත් දර්ශනයත් එක්ක අලුත් දේශපාලන ප්‍රවනතායකට යොමු වීමට අපිව තල්ලු වුණා කියන එක තමයි කියන්න තියෙන්නේ.”