2022 පළාත් සභා සටනින් ගෝඨාගේ ආණ්ඩුවට මොනවා වෙයිද?

1993 පළාත් සභා ජන්දෙදි දාහත් අවුරුදු එජාප ආණ්ඩුව පෙරළුණා! 2014දි මහින්දගේ ආණ්ඩුව පෙරළුණා! 2022 පළාත් සභා සටනින් ගෝඨාගේ ආණ්ඩුවට මොනවා වෙයිද?
පසුගිය වසර කිහිපය පුරාම වරින් වර කරළියට පැමිණි පළාත් සභා මැතිවරණය පිළිබඳ කතාබහ දැන් උණුසුම් මුහුණුවරක් ගෙන ඇත. එම කතාබහ නැවත ඉස්මතු වූයේ ඉන්දීය විදේශ ඇමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයත් සමඟිනි. එම සංචාරය අතරතුරදී 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම පිළිබඳව ඉන්දීය විදේශීය ඇමැතිවරයා අවධාරණය කළ බව මාධ්‍ය ඔස්සේ වාර්තා විය. ඒ සමඟම ලබන මාර්තු මාසයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව සූදානම්වන බවද වාර්තා විය.
එසේ වුවද, ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ දැන ගැනීමට ලැබෙන්නේ මේ මොහොතේ පළාත්සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ගේ එතරම් ප්‍රසාදයක් නොමැති බවය. රටේ ජනතාව අති විශාල ජීවන බරකින් පීඩා විඳින මෙවැනි මොහොතක මැතිවරණයක් පැවැත්වීම එතරම් උචිත නොවන බව එම මැති ඇමැතිවරුන්ගේ අදහස වී ඇත.
නමුත් පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් දැමීමේ හැකියාවක් රජයට නොමැත්තේ ජාත්‍යන්තරයෙන් එල්ලවන බලපෑම් දිනෙන් දින ඉහළ යෑම හේතුවෙනි. ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදයට විසඳුමක් ලෙස ගෙන ආ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රධානතම කාරණයක්වන පළාත් සභා සියල්ල වසර ගණනාවක සිට අකර්මණ්‍ය වී ඇත.
පළාත් සභා මැතිවරණය නියමාකාරයෙන් පැවැත්වීමට නියමිත වූයේ 2018 වසරේදීය. නමුත් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට එවක රජය ගත් උත්සාහය හමුවේ පළාත් සභා මැතිවරණය දිනෙන් දින කල් ගියේය. පවතින සමානුපාතික ක්‍රමය වෙනස්කර ආසන ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සියල්ල සම්පාදනය කිරීම මේ වන විටද අවසන් වී නැත. නමුත් ජාත්‍යන්තර පීඩනය හමුවේ පැරැණි ක්‍රමය යටතේ හෝ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජයට සිදුවන පසුබිමක් මේ වන විට නිර්මාණය වී ඇත.
දැන් බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත්තේ යම් හෙයකින් පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත්, එය වර්තමාන රජයේ අනාගතයට කොයි ආකාරයකින් බලපානු ඇතිද යන්නය. ඉතිහාසය පුරාවටම පළාත් සභා මැතිවරණය පවතින ආණ්ඩුවේ අනාගතය තීරණය කරන ප්‍රබල සාධකයක් ලෙස පෙනී යාම ඊට හේතු වී ඇත.
ශ්‍රී ලංකාවේ පළමු පළාත් සභා මැතිවරණය පැවැත්වූයේ 1988 වසරේදීය. එවකට විපක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම මැතිවරණයට ඉදිරිපත් නොවීම හේතුවෙන් එය පැවැති එක්සත් ජාතික පක්ෂ රජය තරග කළ හුදෙකළා සටනක් විය. නමුත් ඉන් අනතුරුව 1993 වසරේදී පැවැති දෙවැනි පළාත් සභා මැතිවරණය මෙරට දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී කඩයිමක් ලෙස අවිවාදයෙන් හඳුන්වා දිය හැක.
1993 පළාත් සභා මැතිවරණයේදී බහුතර බලය එක්සත් ජාතික පක්ෂ රජයට හිමි වූ නමුත්, ඉතාම තීරණාත්මක ආකාරයෙන් බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්සභාවල බහුතර බලය අත්පත් කර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණට හැකි විය. ඒ සඳහා එවකට එජාපයෙන් කැඩී වෙන් වී ගොස් තිබූ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ සහායද ඔවුනට හිමි විය. පළමුවරට මැතිවරණයකට තරග වදිමින් බස්නාහිර මහ ඇමැති ධුරයට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය තේරී පත් වූයේද 1993 පළාත් සභා මැතිවරණයේදීය.
එම මැතිවරණයෙන් පසුව දකුණු පළාත් සභාවේ මහ ඇමැතිවරයා ලෙස දිව්රුම් දුන්නේ පොදුජන එක්සත් පෙරමුණේ අමරසිරි දොඩංගොඩ මහතාය. එසේ වුවද, ඒ වන විට දකුණු පළාත් සභාවේ පැවැතියේ ඉතාම තීරණාත්මක තත්ත්වයකි. පොදුජන එක්සත් පෙරමුණට සහ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණට ලැබුණු බලය මත මහ ඇමැති ධුරයට පත් වීමට දොඩංගොඩ මහතාට හැකියාව ලැබුණද, එක්සත් ජාතික පක්ෂයට වඩා ඔවුනගේ බලය තහවුරු වී තිබුණේ එක් ආසනයකින් පමණි. පළාත් සභාවේ පළමු අයවැය ලේඛනය සම්මත කිරීම සඳහා පැවැති අයවැය විවාදය සඳහා පොදුජන පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙකු සහභාගි නොවීම හේතුවෙන් අයවැය පරාජයට පත් වූ අතර පළාත් සභාව නැවත විසුරුවා හැරීමට ආණ්ඩුකාරවරයාට සිදු විය. ඒ සමඟම දකුණු පළාත් සභාව සඳහා 1994 වසරේ මැයි 25 වැනිදා අතුරු මැතිවරණයක් පැවැත්වීමටද දින නියම විය.
17 වසරක් පුරා අඛණ්ඩව පැවැති එක්සත් ජාතික පක්ෂ පාලනයේ බලය පළමුවරට පැහැදිලිව දියාරු වූ මැතිවරණය ලෙස එම දකුණු පළාත් සභා අතුරු මැතිවරණය හඳුන්වා දිය හැක. 1977 වසරේදී 5/6ක දැවැන්ත බලයක් ලබා ගනිමින් ජේ. ආර්. ජයවර්ධන මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබූ ජනතා ආකර්ෂණය 1994 වසර වන විට ගිලිහී ගොස් ඇති බව සැමට පැහැදිලි වූයේ එම අතුරු මැතිවරණයේදීය.
1993 වසරේදී එක් ආසනයකින් පමණක් බලය හිමි කර ගත් පොදුජන එක්සත් පෙරමුණ 1994 වසරේ පැවැති අතුරු මැතිවරණයේදී දකුණු පළාත් සභාවේ බලය තහවුරු කර ගත්තේ බහුතර මන්ත්‍රී ආසන 09ක් හිමි කර ගනිමිනි. 17 වසරක් පුරා පැවැති එජාප පාලනය දකුණු පළාත තුළ පරාජය කිරීමේ නියමුවෙකු ලෙස සැලකෙන අමරසිරි දොඩංගොඩ මහතා බහුතර බලයකින් නැවත වරක් දකුණේ මහ ඇමැති පුටුවට පත් විය. අනතුරුව පැවැති මහ මැතිවරණයෙන්ද පොදුජන එක්සත් පෙරමුණට බලය හිමි වූ අතර ඉන් පසුව පැවැති ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිනිය බවට පත් වීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියට හැකි විය.
ඉන් අනතුරුව 1999, 2004 සහ 2009 වසරවල පැවැති පළාත් සභා මැතිවරණවලදී බලය හිමි වූයේ ඒ වන විට පැවැති රජයන්ටමය. නැවත වරක් මෙරට දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක කඩයිමක් බවට පළාත් සභා මැතිවරණයක් පත් වූයේ 2014 වසරේදීය.
ඒ ඌව පළාත් සභා මැතිවරණයේදීය. සියලුම පළාත් සභා මැතිවරණ එක් දිනෙක පැවැත්වීමේ දේශපාලන සම්ප්‍රදාය වෙනස් කරමින් එක් එක් පළාත් සභා සඳහාවන මැතිවරණ වෙන වෙනම පැවැත්වීමට 2014 වසරේදී එවකට ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ මහතා තීරණය කළේය. ඒ හේතුවෙන් පළාත් සභා මැතිවරණ සඳහා වූ උනන්දුවද වෙනදාට වඩා වැඩි විය. ඒ වසර පුරාවටම මැතිවරණ පැවැත්වීම හේතුවෙනි. රජය එක් එක් මැතිවරණය සඳහා තම උපරිම බලය යෙදවීම සඳහා ඒ ආකාරයෙන් වෙන වෙනම මැතිවරණ පවත්වන බවටද ඒ දිනවල චෝදනා එල්ල විය. 2014 වසරේ පැවැති පළාත් සභා මැතිවරණ මාලාවේ අවසානවරට පැවැතියේ ඌව පළාත් සභා මැතිවරණයය. 2004 වසරේ සිට පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව පරාජය වීමේ පළමු ඉඟිය ලබා දුන් මැතිවරණය ලෙස අදටත් සැලකෙන්නේ 2014 වසරේ පැවැති ඌව පළාත් සභා මැතිවරණයය.
ඒ උතුරු පළාත් සභාව හැර 2014 වසරේ පැවැති සෑම මැතිවරණයකදීම අති බහුතර බලයක් හිමි කර ගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජන වරමට පැහැදිලි බලපෑමක් එල්ල කිරීමට ඌව පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හැකි වීමත් සමඟිනි.
ඒ සඳහා මුල් වූ ප්‍රධාන සටන්කරුවා වූයේ හරීන් ප්‍රනාන්දු මහතාය. එතෙක් ඇල්මැරුණු ස්වභාවයෙන් පවත්වාගෙන ගිය එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ව්‍යාපාරයට නව ජවයක් එක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට සමුදුන් හරීන් ප්‍රනාන්දු මහතා ඌව මහ ඇමැති ධුරයට තරග වැදීමට තීරණය කළේය. ඒ වන විට එජාපයේ ප්‍රධාන ජනතා බලාපොරොත්තුව වූ සජිත් ප්‍රේමදාස මහතාව ඌවට ගෙන ආ හරීන් එජාප පාක්ෂිකයන් ප්‍රබෝධමත් කිරීමට කටයුතු කළේය. හරීන් සමඟ සජිත්ද පළාත් සභා මැතිවරණය පුරාවට ඌව පුරා මැතිවරණ වේදිකාවලට ගොඩ විය.
මැතිවරණයේදී කරට කර සටනක් ලබා දුන්නද, ඌව පළාත් සභාවේ ජය හිමි වූයේද එක්සත් ජනතා නිදහස් සන්ධානයටය. හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා නැවත වරක් මහ ඇමැති ධුරයට පත් විය. නමුත් මැතිවරණයේදී වාර්තාගත මනාප ඡන්ද 173,993ක් හිමි කර ගැනීමට හරීන් ප්‍රනාන්දු මහතා සමත් විය.
2015 ජනාධිපතිවරණයේදී පොදු අපෙක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කරවීමටත්, ඒ මහතා ජයග්‍රහණය කරා ගෙන යාමටත් එක්සත් ජාතික පක්ෂයට උත්තේජනය ලැබුණේ ඌව පළාතෙන් හිමි වූ ජනවරම නිසා බවට විවාදයක් නැත. 2015 ජනාධිපතිවරණයෙන් පසු ඌව පළාතේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු කිහිප දෙනකුම එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වීමත් සමඟ ඌව මහ ඇමැතිවරයා බවට පත් වීමටද හරීන් ප්‍රනාන්දු මහතාට හැකි විය.
ඉතිහාසයේ එම කරුණු සලකා බැලීමේදී පැහැදිලිව පෙනී යන්නේ මීළඟ පළාත් සභා මැතිවරණය ආණ්ඩුවේ අනාගතය සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක මැතිවරණයක් වනු ඇති බවය. මැතිවරණය පැවැත්වීම පිළිබඳව ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කලබල වී ඇත්තේද ඒ නිසාය. ඉදිරි පළාත් සභා මැතිවරණය ඉදිරිපත්වන බවට කියන මහ ඇමැති අපේක්ෂකයන් පිළිබඳවද දැන් යම් යම් ආරංචි පැතිර යමින් ඇත. පළාත් සභා මැතිවරණ ඉතිහාසය පුරාවට සිදු වූ දේ ඒ ආකාරයෙන්ම ඉදිරි මැතිවරණයේදීත් සිදු වේද? ඒ සම්බන්ධයෙන් යමක් පැවසීමට නම් තවම කාලය උදා වී නැත.
චන්දන පොන්නම්පෙරුම