T20 ලෝක කුසලාන කාලසටහන නිකුත් වෙයි – ශ්‍රී ලංකාව පළමු තරගයෙන්ම තරග බිමට

ඔස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2022 T20 ලෝක කුසලාන තරගාවලියේ තරග කාලසටහන මේ වනවිට නිකුත් කර තිබෙනවා. ඔක්තෝබර් 16 වැනිදා ආරම්භ වන තරගාවලිය සැප්තැම්බර් 13 වැනිදා පැවැත්වෙන අවසාන මහා තරගයෙන් නිමාවට පත් වේ.

මෙවර තරගාවලියද පසුගිය 2021 තරගාවලිය පැවති ආකාරයෙන්ම පැවැත්වේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අනුව පසුගිය වර ලෝක කුසලාන තරගාවලිය අවසන් වනවිට ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථාන 08 ලබාගෙන සිටි කණ්ඩායම් සෘජුවම තරගාවලියට සහභාගි වන අතර අවසන් වටයේ සෙසු ස්ථාන 04 ට සුදුසුකම් ලබා ගැනීම සඳහා කණ්ඩායම් 08 ක් මූලික වටයේ තරග සඳහා එක් වේ.

ශ්‍රී ලංකාව සමග නැමීබියාව, ස්කොට්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් 04 මේ වනවිටත් මූලික වටයේ තරග සඳහා සුදුසුකම් ලබා ඇති අතර ශ්‍රේණිගත කිරීම්වල ඉහළින් සිටින තවත් කණ්ඩායම් 04 කට මූලික වටයේ තරග සඳහා අවස්ථාව හිමි වේ. එම කණ්ඩායම් 04 මේ දක්වා ප්‍රකාශයට පත්කර නොමැත.

මූලික වටයේ තරගවලදී ඉහළ දස්කම් දක්වන කණ්ඩායම් 04 ක් සුපිරි 12 දෙනාගේ වටයට සුදුසකම් ලබා ගන්නා අතර ඉන්පසු සුපිරි කණ්ඩායම් 12 කොටස් දෙකකට බෙදා තරග පැවැත්වෙන අතර ඉහළින්ම සිටින කණ්ඩායම් 04 අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබා ගනී.

නොවැම්බර් 09 වැනිදා පළමු අවසන් පූර්ව තරගය සිඩ්නි ක්‍රීඩාංගනයේදීත් නොවැම්බර් 10 වැනිදා දෙවැනි අවසන් පූර්ව තරගය ඇඩිලේඩ් ක්‍රීඩාංගනයේදීත් පැවැත්වෙන අතර නොවැම්බර් 13 වැනිදා මෙල්බර්න් ක්‍රීඩාංගනයේදී අවසාන මහා තරගය පැවැත්වේ.

පසුගිය තරගාවලියේදී මෙන්ම මෙවර තරගාවලියේදීද තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගයට සහභාගිවීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව හිමිව ඇත.