රුසියානු සංචාරකයන් ආපසු කැදවයි.. අන්තිම රුසියානුවාත් ලංකාවෙන් පිටව යයි..

“අපි ශ්‍රී ලංකාවට ආවෙ දින 14 ක සංචාරයක් සදහා. අපි මේ වෙනකොට හිටියෙ හික්කඩුවෙ. හදිසියේම ඇති වූ මේ තත්වය නිසා අපට රුසියානු රජය දැනුම් දුන්නා , සංචාරය අත්හිටුවා ආපසු පැමිණෙන ලෙස. ඒ අනුව දින 14 ක සංචාරය දින 07 කින් නිමා කරල ආපසු රුසියාව බලා යෑමට , මෙම රුසියානු එරොෆ්ලොට් අවසාන ගුවන් යානය සදහා අපි කටුනායක ගුවන් තොටුපළට ආවා” යැයි රුසියානු ජාතික එලේනා මෙසෙන්කෝවා මහත්මිය කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී 06/05 දින උදෑසන 10.00 ට පැවසුවාය.

“අපිට රුසියානු රජය මීට පෙර ශ්‍රී ලංකාවේ සංචාරය සදහා සුදුසු බව ප්‍රකාශ කරමින් ඒ සදහා යොමු කිරීම් සිදු කළා. එහෙත් හදිසියේම ඇති වූ මේ තත්වය පිළිබඳව අපි කම්පනයට පත් වුණා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ රටේ සංචාරය කරන්න අපිට ඩීසල් තිබුණෙ නැහැ. ඒ මදිවට විදුලි කප්පාදුව. මේ සියලු ගැටළු මධ්‍යයේ වුවත් අපි බොහොම කැමැත්තෙන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වුණා.

අපේ රුසියානු සංචාරකයන් නිසා ශ්‍රී ලංකාවට ඩොලර් ලැබෙනවා. ඒත් මේ තීන්දුව නිසා ඒ තත්වය ශ්‍රී ලංකාවට අහිමි වෙලා යයි. රුසියානු ජනාධිපතිවරයා මෙම සිදු වීම පිළිබඳව දැඩි තීරණයක් ගනීවි.

ඒ අනුව අපට දැනටමත් ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන සංචාරයන් වහාම අත්හිටුවා ආපසු පැමිණෙන ලෙස රුසියානු රජය අපව දැනුවත් කර තිබෙනවා” යැයි ද එලේනා මෙසෙන්කෝවා මහත්මිය සිය රුසියානු බසින් පැවසුවාය .

එමෙන්ම යළිත් මින් ඉදියට කිසිදු රුසියානු සංචාරකයෙකු මෙවැනි සිදුවීමක් ඇති වෙතැයි යන බියෙන් ශ්‍රී ලංකාවට නොපැමිණෙනු ඇතැයි ද ඇය වැඩිදුරටත් පැවසුවාය .

රුසියානු රජයේ සහ ශ්‍රී ලංකාවේ බලධාරීන් අතර ලිඛිත එකගතාවයක් පවතිත්දීත්, එය නොසළකා හරිමින් බටහිර රාජ්‍යයක කුඩා රක්ෂණ සමාගමක පැමිණිල්ලක් මත මේ ආකාරයට දහස් ගනන් රුසියානු සංචාරකයන් අසරණ කරමින් , අනාගතයේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය අභියෝගට ලක් කරමින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්‍රධානතම මාර්ගයක් ඇනහිටුවා ගැනීම පුදුම සහගත බව ද ඇය සදහන් කළාය.