2023 හොඳ-නරක සුබ-අසුබ දැනගන්න

ගෙවී ගියේ රටටත් ජනතාවටත් බොහෝ පීඩාකාරී සිදුවීම්වලට මුහුණ දීමට සිදුවූ වසරක්. වෙනත් වසරවලට සාපේක්ෂව ජනතාව මත දැඩි ජීවන බරක් පැටවුණු වසරක් ලෙස 2022 වසර සැලකීමේ වරදක් නැහැ. සෑම පාරිභෝගික භාණ්ඩයකම මිල 300%කින් පමණ ඉහළ ගොස් ඇති පසුබිමක අති බහුතරයක් වූ මධ්‍යම පාන්තික ජනතාව එදිදෙනා ආහාර වේල පවා සරිකර ගත්තේ දැඩි දුෂ්කරතා මධ්‍යයේයි. එලෙස ගෙවීගිය 2022 වසර ගොවීගොස් අදින් ආරම්භ වුණු 2023 නව වසරේදී රටටත් ජනතාවටත් මුහුණ දීමට සිදුවන්නේ සුබදායී ප්‍රතිඵලයකටද? එසේත් නැතිනම් පෙරටත් වඩා අර්බුද පිරුණු කාලපරිච්ඡේදයකටද? ජ්‍යොතිෂ විද්‍යානුකූලව කෙරෙන මේ විමසුම ඒ පිළිබඳවයි. එක් එක් ලග්නයන්ට උරුම වන සුබ අසුබ ඵල සහ රට දැය හමුවේ ඇති අභියෝග පිළිබඳ ජ්‍යොතිර්වේදිනී කල්‍යාණි හේරත් මහත්මිය සිදුකරන මෙම සුවිශේෂ විග්‍රහය අප උපුටා ගත්තේ Natural Treatment යූටියුබ් නාලිකාවෙන්.
මේ අවස්ථාවේදී සිහිපත් කරන්න තියෙන වැදගත් කරුණක් තියෙනවා. පසුගිය වසර කිහිපය පුරා විවිධ වසංගත රෝග, අරගල, ආර්ථික අවපාත, රැකියා අහිමිවීම්, ව්‍යාපාර කඩාවැටීම් වැනි ප්‍රශ්න රැසකට ජනතාව මුහුණ දුන්නා. ඒ නිසා ඔබට අලුත් අවුරුදු පලාපල හඳුන්වා දීමට කලින් මුලින්ම සඳහන් කරන්න ඕනේ විවිධ නිධන්ගත රෝග තියෙන අය දේශීය වෛද්‍ය ක්‍රමවලට යොමුවෙන්න කියලා. ඒ වගේම ආහාර රටාව ක්‍රමවත්ව සකස් කරගෙන මත්පැන් දුම්වැටි භාවිතයෙන් සහ රතු මස් වර්ග භාවිතයෙන් ඈත්වෙලා ආධ්‍යාත්මික දිවිපැවැත්මකින්, ආගමික නැඹුරුවකින් කටයුතු කරන්න කියලා. ඒ හරහා පංච මහා භූතයන් නිවේදනය කරන්නා වූ ග්‍රහයන්ගෙන් ඔබට ඇතිවෙන අපල උපද්‍රවවලින් යම් සහනයක් ලබාගෙන සිත බලවත් කරලා කටයුතු කළොත් අනාගතය යහපත් වේවි. අපි දැන් බලමු 2023 වසර ලග්න 12ට බලපාන්නේ කුමණාකාරයෙන්ද කියලා.

මේෂ

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ලග්නාධිපති කුජ ග්‍රහයා. කුජ ග්‍රහයා මේ වර්ෂය ආරම්භයේදීම ගමන් කරන්නේ දෙවැන්නේ. ධනස්ථානයේ ලග්නාධිපති ගමන් කරන විට ඔබගේ ආර්ථික ශක්තිය, ව්‍යාපාර කටයුතු සාර්ථක වීමට තියෙන ප්‍රවණතාව වැඩියි. ඒ වගේම ඒරාෂ්ටකයක් බලපාලා තිබුණත් සෙනසුරු ගමන් කරන්නේ 10 වැන්නේ. 10 වැන්නේ ගමන් කරන නිසා රැකියා කටයුතුවලදී තමන්ට උදව් කරන අය අතරින් යම් යම් සතුරු බලපෑම් පවතින්න පුළුවන්. ව්‍යාපාර කටයුත්තක් නම් ඒ ව්‍යාපාරය ඇතුළත ඔබට උදව් කරන, ඔබ යටතේ සේවය කරන අය අතර මතභේද ගැටුම් ඇතිවෙන්නත් පුළුවන්. ඒ ගැන හොඳ අවධානයක් යොමුකරලා කල්පනාවෙන් කටයුතු කරන්න. එහෙම කටයුතු නොකළොත් විවිධ අලාභයන්ට මුහුණ දීමට සිදුවේවි. ණය ගැනීම් සහ ණය දීම් වැනි කටයුතුවලට යොමු නොවිය යුතුයි. මේෂ ලග්නය උදාවෙන මොහොතේ රාහු ග්‍රහයා ගමන් කරන්නේ ලග්නයේ. කේතු ගමන් කරන්නේ 7 වැන්නේ. හවුල් කටයුතු, හවුල් ව්‍යාපාර, ණය ගනුදෙනු වැනි කටයුතුවලින් අවාසි සිදුවෙන්න තියෙන ඉඩ වැඩියි. ගෘහ ජීවිතය පැත්තෙන් බලද්දී කේතු කියන ඥානකාරක ග්‍රහයා ආධ්‍යාත්මික ගුණයට වැඩි නැඹුරුවක් තියෙන ග්‍රහයෙක් වශයෙන් සලකන නිසා ඔබේ පවුල් ජීවිතය ඇතුළේ යම් යම් මතභේද ඇතිවෙන්න පුළුවන්. ඒ පිළිබඳ හොඳ අවධානයක් යොමුකළ යුතුයි. ඊට අමතරව ගුරු ග්‍රහයා ස්වක්ෂේත්‍ර බලයෙන් අප්‍රේල් මාසය දක්වා ගමන් කරන්නේ 12 වැන්නේ. 12 වැන්න කියන්නේ වියදම් පිළිබඳ නියෝජනය කරන ස්ථානය. ඔබ ලබන්නා වූ ආදායමට වඩා ඔබගේ වියදම් පක්ෂය වැඩිවීමට හේතු වෙන්න පුළුවන් 12 වැන්නේ ගමන් කිරීම හේතුවෙන්. ස්වක්ෂේත්‍ර බලයෙන් තමයි ඉන්නේ. නමුත් ඒ ස්ථානය වැයවන ස්ථානයක්. ඔබ රෝහල් සේවාවක යෙදී සිටිනවා නම්, ඔබ වෛද්‍යවරයෙක් හෝ සාත්තු සේවාවේ නියුතු අයෙක් නම් අන් අයගේ ප්‍රසාදයට පත්වීමට ඔබට අවස්ථාව ලැබෙනවා මේ නිසා. නමුත් ආදායම් තත්ත්වයට වඩා වියදම් තත්ත්වය වැඩිවෙන්න ඇති ඉඩකඩ වැඩියි. මෙවැනි ග්‍රහචාරයක් ඇතුළත ගමන් කරන ඔබට, රාහු ලග්නගත වීම කුජ ග්‍රහයා දෙවැන්නේ ගමන් කිරීම, ගුරු ග්‍රහයා 12 වැන්නේ ගමන් කිරීමත්, සෙනසුරු 10 වැන්නේ ගමන් කිරීමත්, කේතු 07 වැන්නේ ගමන් කිරීමත් වැනි ග්‍රහචාරයක් තුළ ඔබට මොන විදියටද මුහුණ දීමට සිදුවන්නේ කියන එක ඔබ විසින්ම හඳුනාගත යුතුය. රාහු කේතු මාරුව සිද්ධ වෙන්නේ ඔක්තෝබර් මාසේ. ඔක්තෝබර් දක්වා පවුලේ සාමාජිකයන් අතර ගැටුම්කාරී තත්ත්වයන්, මානසික පීඩාවන්, වාද විවාද, මතභේද වගේ දේවල් ඇතිවෙන්න පුළුවන්.

වෘශභ

වෘෂභ ලග්නයෙන් උපත ලැබූ ඔබගේ ලග්නාධිපති සිකුරු. නමුත් මේ අවස්ථාවේදී කුජ ග්‍රහයා ගමන් කරන්නේ වර්ෂය ආරම්භයේදීම ලග්නයේ. ලග්නගත වූ කුජ, රාශි මණ්ඩලයේ සෙන්පතියා ලෙස හඳුන්වන්නට පුළුවන්. ඔබගේ හිසේ, ලග්නභාවයේ ගමන් කරන්නේ. ඒ ලග්නභාවයේ කුජ වගේ ප්‍රචණ්ඩකාරී, ලේ ධාතුවට අධිපති, වේගකාරී ග්‍රහයෙක් ගමන් කරද්දී ඔබගේ මානසිකත්වයත් ඒ තත්ත්වයට පත්වෙන්න පුළුවන්. කේන්තිය ඇතිවෙන්න පුළුවන්. අධි රුධිර පීඩනයෙන් පෙළෙන කෙනෙක් නම් මාර්තු දක්වා පරිස්සම් විය යුතුයි. කුජ ලග්නගතව සිටින නිසා. තමන්ගේ ශරීරයේ ලේ ධාතුව දූෂණය වුණොත් ඔබ නොහිතන රෝගී තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන්. හදිසි කෝපය නිසා අනතුරු ඇතිවෙන්නත් පුළුවන්. නමුත් මේ අවස්ථාවේදී ඔබගේ කේන්දරයේ අප්‍රේල් 14 දක්වා ගුරු ග්‍රහයා ගමන් කරනවා අය ස්ථානයේ. ඔබ ව්‍යාපාරයක් කරනවා නම් මේ මාස 04 බොහෝ සාර්ථක ලෙස ලාභ ලබන්න පුළුවන්. රැකියාවක නිරත වෙලා ඉන්න කෙනෙක් නම් ඔබ අපේක්ෂා කරන උසස්වීම්, රැකියාවේ වෙනස ලබාගැනීමට අප්‍රේල් 14 දක්වා අවස්ථාව ලැබෙනවා. මේ අවස්ථාවේ ආරම්භයේදීම සෙනසුරු ග්‍රහයා ගමන් කරන්නේ පුණ්‍ය ස්ථානයේ. පුණ්‍ය ස්ථානය කියන්නේ 09 වැන්න. ජනවාරි 19 දක්වා කාලය ඇතුළත පෙර පින් මතුකර දෙන පුණ්‍යකර්මවලින් ඔබට හොඳ මානසික සහනයක් ආධ්‍යාත්මික ගුණයක් වර්ධනය කරගන්න හැකි වෙනවා. නමුත් සෙනසුරු ජනවාරි 19 වැනිදායින් පස්සේ 10 වැන්නට, කර්මස්ථානයට ගෝචර වෙනවා. වසර දෙකහමාරක කාලයක් එතැන සිටිනවා. ජනවාරි 19 සිට 2023 වසර පුරාම සෙනසුරු 10 වැන්නේ ගමන් කරන නිසා රැකියාවට, ඔබගේ වෘත්තීය කටයුතුවලට ප්‍රධාන වශයෙන් බලපෑමක් කරනවා.

මිථුන

ලග්නාධිපති බුධ ග්‍රහයා 07 වැන්නේ, රවි ග්‍රහයා සමග ගමන් කරන අවස්ථාවේ බුධ ඉන්නේ වක්‍ර වෙලා. මිථුන ලග්න හිමියන් 2023 වසරේ මොන විදියට තමන්ගේ කටයුතු සැලසුම් කරගන්න පුළුවන් වේවිද කියලා බලමු. වසර දෙකහමාරක් පුරා ලග්න අෂ්ටම ඒරාෂ්ටකයක් ගෙවූ ඔබට 2023 ජනවාරි 19 වැනිදායින් පස්සේ ඒරාෂ්ටකය අවසන් වෙලා සෙනනුරු ග්‍රහයා පුණ්‍යස්ථානය වූ 09 වැනි භාවයේ ගෝචර වෙනවා. ඒ ගෝචරවීම තුළ මෙතෙක් කලක් ඔබ ගෙවන ලද මානසික පීඩා, කරදර බාධක, අපහාස උපහාස සියල්ල අවම කරගෙන, පෙර පින් මතු කරමින් ඉදිරියට යෑමට හැකි වාසනාවන්ත කාලයක් උදාවෙනවා. ඒ වගේම මිථුන ලග්න හිමියන්ගේ ගුරු ග්‍රහයා 10 වැනි භාවයට එනවා. හතර කේන්දරයේ 1,4,7,10 වැනි තැනකට ගුරු ග්‍රහයා ආවම යහපත් කාලයක් උදාවෙන බව ජ්‍යොතිෂයේ කියැවෙනවා. ගුරු 10 වැන්නේ ගමන් කරන කාලසීමාව තුළ ඔබට ඔබේ ශාස්ත්‍රීය කටයුතු ඉතා සාර්ථකව කරගන්න පුළුවන්. මිථුන ලග්නයෙන් උත්පත්තිය ලබපු ආචාර්ය මහාචාර්යවරු, ගුරුභවතුන්, උපදේශන සේවාවේ නිරත අය වගේ අයට තමන්ගේ ශාස්ත්‍රී කටයුතු සාර්ථකව කරගෙන යන්න පුළුවන් 2023 අප්‍රේල් දක්වා. ඒ වගේම මිථුන ලග්න හිමියන්ගේ ගුරු ග්‍රහයා අප්‍රේල් 14 වැනිදායින් පසුව ලාභ ස්ථානය වූ 11 වැනි භාවයේ ගමන් කරනවා. එලෙස ගමන් කරද්දී තමන් කරන කටයුතුවලින් ලාභ ප්‍රයෝජන ලබාගැනීමට අවස්ථාව ලැබෙනවා.

කටක

කටක ලග්නයෙන් උත්පත්තිය ලැබූ ඔබගේ ලග්නාධිපති සඳු ග්‍රහයා 2023 වර්ෂය ආර්ම්භ වෙනකොටම රාහු ග්‍රහයා සමග යෝග වෙලා 10 වැන්නේ සිටිනවා. චන්ද්‍රයා සිතුවිලිවලට අධිපති ග්‍රහයා සිටින්නේ චන්ද්‍රයාට නොගැළපෙන තැනක. චන්ද්‍රයා බලවත් වෙන්නේ 04 වැන්නේ. නමුත් ඉන්නේ 10 වැන්නේ. එතකොට චන්ද්‍රයාගේ බලය හීන වෙනවා. ඔබගේ ලග්නාධිපතිගේ බලය හීන වුණු අවස්ථාවක තමයි කටක ලග්න හිමියන්ට මේ අවුරුද්ද උදාවෙන්නේ. රාහු 10 වැන්නේ ඉඳන් 10 වැන්නට අදාළ දේවලට මොන විදියේ ප්‍රතිඵලයක්ද ලබාදෙන්නේ කියන එක අපි මුලින්ම විග්‍රහ කරමු.

ඔබ රැකියාවක් කරනවා නම් ඒ රැකියාවේ වෙනසක් සිදුවිය හැකියි. අවම වශයෙන් තමන්ගේ පුටුව මේසය හෝ කාමරය හෝ වෙනස් විය හැකියි. ඔබ දේශපාලන හෝ සමාජ සේවා කටයුතුවල නිරත වෙලා සිටිනවා නම් වෙනදාට වඩා කාර්යබහුල විය හැකියි. කේතු ඉන්නේ 04 වැන්නේ. තමන්ගේ ඥාතීන්, හිතවතුන් සමග වැඩි හොඳ හිතක් පවත්වාගෙන යන්න පුළුවන් වාතාවරණයක් නැති වෙනවා ඔක්තෝබර් මාසය දක්වා. ඒ තත්ත්වයම 10 වැන්නේ රාහු සිටීමෙනුත් පෙන්නුම් කරනවා. සතුරන් පරාජය කරගෙන ඉදිරියට යෑමට හැකි බවකුත් පෙන්නුම් කරනවා. ඔබේ කේන්දරයේ 09 වැන්නේ ගුරු ග්‍රහයා සිටිනවා. විදෙස්ගත වෙන්න බලාපොරොත්තු වෙනවා නම්, විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය සඳහා විදෙස්ගත වෙන්න අපේක්ෂා කරන අය සිටිනවා නම්, කටක ලග්න හිමි එවැනි අයට අප්‍රේල් මාසේ 14 දක්වා කාලසීමාව තුළ තම අරමුණ ඉටුකරගැනීමට අවස්ථාව උදාවෙනවා. ඔබ ඒ සඳහා මේ වන විටත් සූදානමක් තිබෙනවා නම් ඔබට අප්‍රේල් මාසයට පෙර විදෙස්ගත වෙන්න පුළුවන්. නමුත් ඒ සඳහා අවස්ථාව තියෙන්නේ මේ වන විටත් එහි මූලික කටයුතු අවසන් කර ඇති අයට පමණක් බවත් සඳහන් කළ යුතුයි. ඉන් පස්සේ ගුරු යන්නේ 10 වැන්නට. ශාස්ත්‍රීය කටයුතු සාර්ථක කරගන්න පුළුවන්.

සිංහ

ලග්නාධිපති රවි ග්‍රහයාගේ ආධිපත්‍යයේ සිටින, සිංහ ලග්නයෙන් උත්පත්තිය ලැබූ ජන්මීන්ට 2023 වසර මොන විදියේ වසරක් වේවිද කියලා අපි බලමු. ඔබගේ යෝගකාරක කුජ ග්‍රහයා. 2023 වසර ලබන විට කුජ ග්‍රහයා ඔබගේ කේන්දරයේ ඉන්නේ 10 වැනි භාවයේ. යෝගකාරය ග්‍රහයා 10 වැනි භාවයේ ගමන් කරන විට ඒ ග්‍රහයා කුජ වුණාට, යෝගකාරක ග්‍රහයා නිසා වෘත්තීය කටයුතුවල උසස්වීමක් පෙන්නුම් කරනවා. ඒකට පිඹුරුපත් දැනටම ලියැවීමට සුදුසු පසුබිම සැකසී ඇති. ඒ නිසා ඔබට වැඩි වගකීම්වලට නොයා, තමන්ගේ බල සීමාව ඇතුළත නීතිමය පදනමක් තුළ කරන්න පුළුවන් රාජකාරිවලට පමණක් නැඹුරු වීම වැදගත්. ඒ නැඹුරු වීමෙන් ඔබේ අනාගතය සකස් කරගන්නට පුළුවන් වේවි. රවි ග්‍රහයා 05 වැනි භාවයේ ගමන් කරනවා. 05 වැන්න දරුවන්, පෙර පින්, අධ්‍යාපනය ගැන කතාකරන්නේ. ද්විතීයික අධ්‍යාපනය සාර්ථක කරගැනීමට බාධාවක් නැතත්, දරුවන් තමන්ගේ හිතුමතයට කටයුතු කරන්න පුළුවන් මේ වසර ආරම්භයේදී.

දරුවන් සමග නොගැටී, තරවටු නොකර ආදරෙන් දයාවෙන් ඔවුන්ව පාලනය කරගන්නවා නම් සිංහ ලග්න හිමියන්ට වඩාත් හොඳ පරපුරක් අනාගතයට දායාද කරන්න පුළුවන්. ඔබේ කේන්දරයේ පුණ්‍ය ස්ථානයේ රාහු ග්‍රහයා ගමන් කරනවා. සිංහ ලග්න හිමියන්ගේ පුණ්‍ය ස්ථානයට රාහු ග්‍රහයා ගෝචර වුණේ 2022 වසරේ අප්‍රේල් 13 වැනිදා. එතැන් පටන් ඔක්තෝබර් 29 දක්වා රාහු ගමන් කරනවා. රාහුගේ ගෝචර ගමන්වල නියම ප්‍රතිඵලය ලබාදෙන්නේ මධ්‍යම කාර්තුවල. 2023 ජනවාරි සිට අගෝස්තු දක්වා එහි නියම ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. රාහු 09 වැන්නේ ගමන් කිරීමේ වැදගත්ම දේ තමයි රැකියාව, අධ්‍යාපනය, විදෙස් ගමන්වලට හොඳ පිහිටීමක් වීම. ඒ නිසා සිංහ ලග්නයෙන් ජන්ම ලාභය ලැබූ ඔබට 2023 වසරේ වැඩි වශයෙන් යහපත් ප්‍රතිඵලදායී වන්නේ විදෙස් ගමන්වලටයි. විදෙස් අධ්‍යාපනය බලාපොරොත්තු වන අයට එය ඉතා සාර්ථකව කරගෙන යන්න අවස්ථාව උදාවේවි. විදෙස් රැකියාවක් බලාපොරොත්තු වෙනවා නම් ඒකටත් මේ කාලය යහපත් විදියට බලපාවි.

කන්‍ය

කන්‍යා ලග්නයෙන් උත්පත්තිය ලැබූ ඔබගේ ලග්නාධිපති බුධ ග්‍රහයා රවි සමග යෝග වෙලා සිවුවැන්නේ ගමන් කරන්නේ. රවි ග්‍රහයා 12 වැන්නාධිපති. ගමන් කරන්නේ 04 වැන්නේ. තමන්ට ශක්තියක්, බලයක්, ආලෝකයක් දෙනවා. රවි මෙතැන අඳුරු ස්ථානයක ගමන් කරන්නේ. 04 වැන්න කියන්නේ පපුව නියෝජනය කරන තැන. බුධ ග්‍රහයත් එතැන වක්‍ර වෙලයි ඉන්නේ. හෘදයාබාධ තියෙන අය, අධික රුධිර පීඩනයෙන් පෙළෙන අය කල්පනාකාරී විය යුතුයි. ජනවාරි 19 වැනිදායින් පස්සේ සෙනසුරු කුම්භ රාශිගත වෙනවා. ඒ කියන්නේ රෝගස්ථානය වූ 06 වැන්නට එනවා. 06 වැන්නේදී මූල ත්‍රිකෝණ වුණත් මේ බලපෑම ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා කන්‍යා ලග්න හිමි ඔබ කල්පනාකාරී විය යුතුයි රෝග තත්ත්වයන් පිළිබඳව. කන්‍යා ලග්න හිමියන්ගේ දෙවැන්නේ ගමන් කරන්නේ කේතු. දෙවැන්න කියන්නේ පවුල් සංස්ථාව නියෝජනය වන තැන. කේතු කියන්නේ එක තැන පල්වෙන ග්‍රහයෙක්. බුද්ධිය තිබුණට ක්‍රියාකාරී බව අඩුයි. ධන ස්ථානය, පවුල් සංස්ථාව, ප්‍රාථමික අධ්‍යාපනය, කථිකත්වය යන සියල්ල නියෝජනය කරන ස්ථානය විදියට හඳුන්වන දෙවැන්නේ. මේ වගේ ග්‍රහයෙක් තනිව ගෝචර වුණාම ඒ සියලු ශක්තීන් අක්‍රීය වෙනවා. කේතු දෙවැන්නේ ගමන් කරද්දී රාහු ගමන් කරන්නේ 08 වැන්නේ. රාහු කේතු වැනි ග්‍රහයෙක් 08 වැන්නේ ගමන් කරද්දී ගෙවල්වල තියෙන වාස්තු දෝෂ, අදෘශ්‍යමාන බලපෑම් ඇතිවුණාම තමන්ට තිබෙන රෝග තත්ත්වයන් සම්පූර්ණයෙන්ම සුවපත් කරගන්න බැරි අවස්ථාවන් මතුවෙන්න පුළුවන්. හඳුනාගත නොහැකි රෝග මතුවෙන්නත් පුළුවන්.

අදෘශ්‍යමාන බලවේගවල බලපෑම නිසා තමන්ගේ දියුණුව කඩාවැටීමට හේතුවන බරපතළ මානසික අවපාතයකට පත්වෙන්න පුළුවන්. මෙය ඔබේ පෞද්ගලික කේන්ද්‍රයත් සමග කන්‍යා ලග්න හිමියන් ගළපාගත යුතුයි.

තුලා

තුලා ලග්නයෙන් උත්පත්තිය ලැබූ ඔබේ ලග්නාධිපති සිකුරු ග්‍රහයා 2023 වසර ආරම්භ කරන විටම 04 වැනි භාවයේ ගමන් කරන සෙනසුරු සමග යෝග වෙනවා. ලග්නාධිපති යෝගකාරක ග්‍රහයත් සමග 04 වැන්නේ ගමන් කරන්නේ. සිකුරු දිග්බලයි. මෙතෙක් කලක් විවිධ තාඩන පීඩන ආර්ථික අවපාතවලට මුහුණ දුන්න ඔබට වෙනදාට වඩා තම තමන්ගේ පවුලේ අය සමග සාමකාමීව, ඒ අයගේ ආකර්ෂණය ලබලා තමන්ගේ මහන්සියේ තරමට ප්‍රතිඵල ලබාගත හැකි වාතාවරණයක් ඇතිවන බව සිහිපත් කරන්න ඕනෙ. සෙනසුරු ග්‍රහයා ජනවාරි 19 වැනිදායින් පස්සේ 05 වැනි භාවයට පැමිණෙනවා. එලෙස 05 වැනි භාවයට පැමිණීම තුළ ඔබ විවාහක අයෙක් නම්, 2023 ජනවාරි මාසයෙන් පසුව දරුවන් ඔබෙන් ඈත්වෙලා යන තත්ත්වයකට මුහුණ දෙන්න වේවි. සමහර විට තමන් එක්ක එක වහල යට ජීවත් වෙන ළමයින් පිටරටකට යන්න පුළුවන්. දරුවන් පිළිබඳ යම් මානසික පීඩාවක් ඔබ තුළ ඇතිවෙන්න පුළුවන්. රාහු ග්‍රහයා 07 වැන්නේ ගමන් කිරීම විශේෂිතයි. ඔබ අවිවාහක කෙනෙක් නම් ඔක්තෝබර් අවසානය දක්වා කාලය තුළදී විවාහ කටයුතු සාර්ථක කරගැනීමට, ආදර සබඳතා ස්ථිර කරගැනීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉන් පසුව උදාවන කාලය ඔබට සුබයි. කේතු ලග්නයේ ගමන් කරන නිසා ඉගෙන ගන්න දරුවන්ට, ලේඛන කලාවේ යෙදෙන අයට, චිත්‍ර කලා නිර්මාණකරුවන්ට ඔක්තෝබර් දක්වා වන කාලය වඩාත් හොඳ බව කිව යුතුයි.

වෘශ්චික

වෘශ්චික ලග්නයෙන් උත්පත්තිය ලැබූ ඔබගේ ලග්නාධිපති කුජ ග්‍රහයා 2023 ආරම්භ වන විටම ඉන්නේ 07 වැනි භාවයේ. කුජ 07 වැන්නේ ගමන් කිරීම ප්‍රධාන වශයෙන් විවාහ කටයුතුවලදී හඳුන්වන්නේ භෞම දෝෂය නමින්. එය විවාහයට බලපාන දෝෂයක්. කුජ 07 ඉන්නවා නම්, ඊට ගැළපෙන කෙනෙක් සමගයි විවාහය සිදුවිය යුත්තේ. එතකොට ඒ දෝෂය සමනය වෙලා යනවා. විවාහ වෙලා ඉන්න අයගේ කුජ ග්‍රහයා 07 වැන්නේ ගෝචර වෙලා ඉන්න අවස්ථාවේ, මෙය දෙවැනි මාරක ස්ථානය ලෙස හඳුන්වනවා. ප්‍රථම මාරක ස්ථානය දෙවැන්න. දෙවැනි මාරක ස්ථානය හත්වැන්න. අටවැන්නත් මාරක ස්ථානයක් ලෙසයි හඳුන්වන්නේ. ලග්නාධිපති වන කුජ ග්‍රහයා 07 වැන්නේ ගමන් කරද්දී එය පවුලේ කටයුතුවලට බලපාන්නේ කොහොමද? ඔබ වෘශ්චික ලග්නයෙන් උත්පත්තිය ලැබූ විවාහක පිරිමියෙක් නම්, ඔබගේ බිරිඳ රෝගී බවට පත්විය හැකියි. එසේම යම් යම් ගැටුම්වලට මුහුණ දීමටත් ඉඩ තිබෙනවා. කුජ ග්‍රහයා 07 වැන්නේ ගමන් කරන විට ඔබ විවාහක කාන්තාවක් නම් ඔබගේ ස්වාමියාගේ ව්‍යාපාරික කටයුතු, රැකියා කටයුතු, ආදායම වර්ධනය වෙන්න පුළුවන්. ඒ වගේම ලේ ධාතුව සම්බන්ධ කරගත්ත රෝග තත්ත්වයන් තිබුණොත් ඒ සඳහා යම් බලපෑමක් ඇතිවෙන්නත් පුළුවන්. මාරක අනතුරු වැනි දේවලට මුහුණ දෙන්න සිදුවෙන වකවානුවක් විදියට 2023 මාර්තු දක්වා කාලය පෙන්වා දෙන්න පුළුවන්. ඒ නිසා ආගමානුකූලව ඉවසීමෙන් කටයුතු කිරීම හරිම වැදගත්. හැඟීම්වලට වහල් නොවී බුද්ධියෙන් කටයුතු කරනවා නම් සියලු ග්‍රහයන් අභිභවා යන්න පුළුවන්.

ධනූ

ධනු ලග්නයෙන් උත්පත්තිය ලැබූ ඔබගේ කේන්දරයේ ලග්නාධිපති ගුරු ග්‍රහයා ස්වක්ෂේත්‍ර බලයෙන් 04 වැන්නේ ගමන් කරන අවස්ථාවේ තමයි 2023 වසර උදාවෙන්නේ. 04 වැන්නේ ගුරු ගමන් කිරීම නිසා නිවෙසේ වෙනදාට වඩා යම් සහනශීලී බවක් පෙන්නුම් කරනවා. නමුත් ආර්ථික ලාභ ඇතවෙන්නේ නැහැ. ධනු ලග්න හිමියන්ගේ වසර හතහමාරක ඒරාෂ්ටකයේ අවසන් දවස් කිහිපය තමයි මේ ගතවෙන්නේ. ඒ නිසා බොහෝ මානසික සුවයක් ඔවුන්ට ඇතිවෙන්න පුළුවන් සෙනසුරු ග්‍රහයා ජනවාරි 19 වැනිදා දෙවැන්නෙන්, තුන්වැන්නට ගෝචර වුණාම. ඒ නිසා මෙතෙක් කාලයක් තදබල පීඩාවන්ට, රෝගයන්ට මුහුණ දුන් ඔබට 2023 යහපත් වර්ෂයක් බවට පත්වේවි. ඔබගේ කේන්දරයේ ලග්නගත වෙලා ගමන් කරන රවි සහ බුධගෙන් තමන්ගේ ආත්මාභිමානය ආරක්ෂා කිරීමට දරන උත්සාහය සාර්ථක කරගන්න පුළුවන්. ඔක්තෝබර් 29 දක්වා රාහු 05 වැන්නේ ගමන් කරන නිසා ධනු ලග්න හිමියන් තම දරුවන් කෙරෙහි හොඳ අවධානයක් යොමුකරන්න වේවි. දරුවන් නිසා බරපතළ පීඩාවන්ට මුහුණ දෙන්න සිදුවෙනවා. දරුවන්ට ඕනෑවට වඩා බලපෑම් නොකළ යුතුයි. අධ්‍යාපන කටයුතුවල නිරත වෙලා ඉන්න ධනු ලග්නයෙන් උත්පත්තිය ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පවා කියන්න තියෙන්නේ රාහු පස්වැන්නේ ගමන් කරද්දී තමන්ට ලොකු පෙළෙඹවීමක්, පාඩම් කරන්න අවශ්‍යයි කියන හැඟීමක්, අධ්‍යාපනයට හොඳ නැඹුරුවක් ඇති නොවන්න පුළුවන්. ඒ මානසිකත්වය ඇති කරගන්නේ නැතුව මේ තත්ත්වය තේරුම් අරගෙන කටයුතු කළොත් ඔබට ඔබේ විභාග කටයුතු හොඳින් කරගන්න පුළුවන් වෙනවා. ධනු ලග්නයෙන් උත්පත්තිය ලැබූ ඔබගේ කේන්ද්‍රයේ 11 වැනි භාවයේ කේතු ගමන් කරන නිසා වැවිලි කර්මාන්තයේ යෙදී සිටින අයට, ඉඩකඩම් සංවර්ධනය කරන අයට, පතල් කර්මාන්තයේ යෙදී සිටින අයට භූමි ලාභ ලැබෙන කාලයක් ලෙස සඳහන් කරන්න පුළුවන් 2023 ඔක්තෝබර් 29 වැනිදා දක්වා. මෙවැනි මිශ්‍ර ඵලයක් ලබාදී තිබෙන වසරකදී ධනු ලග්න හිමියන් කටයුතු කළ යුත්තේ ඒකට අවනතවයි. රාහු 05 වැන්නේ ගමන් කරද්දී දරුවන්ට රාහුගෙන් බලපෑමක් ඇතිවෙනවා සේම, 2023 වසරේ අප්‍රේල් 14 වැනිදායින් පසුව ගුරු ග්‍රහයා 05 වැනි භාවයේ ගමන් කරන නිසා රාහුගෙන් ගුරු පීඩාවට පත්වුණත් එතරම් ප්‍රබල බලපෑමක් රාහුට කරන්න බැරි වෙනවා. මොකද ගුරු නිත්‍ය ස්ථානයේ ගමන් කරන නිසා. ධනු ලග්න හිමියන් තමන්ගේ සහ දරුවන්ගේ කේන්දර හොඳින් අධ්‍යයනය කරලා, අපල උපද්‍රවවලින් බේරීමට හැකි තරම් ධාර්මිකව, ආධ්‍යාත්මිකව කටයුතු කිරීමට වගබලාගත යුතුයි.

මකර

මකර ලග්නයෙන් උත්පත්තිය ලැබූ ඔබේ ලග්නාධිපති සෙනසුරු ග්‍රහයා යෝගකාරක සිකුරුත් එක්ක සම්බන්ධ වෙලා ලග්නයේ ගමන් කරනවා. මකර ලග්නය කියන්නේ උන්නතිකාමී ලග්නයක්. භෞතික සම්පත් ඒකරාශී කිරීමට ඇති නැඹුරුව වැඩියි. උන්නතිකාමී ගුණයට පමණක් නැඹුරු වෙලා කටයුතු කිරීමෙන් බැහැර වියයුතුයි. එහෙම නොවී භෞතික සම්පත් ඒකරාශී කරන්න පමණක් කටයුතු කළොත් ඔබ බරපතළ මානසික වියවුලකට පත්වෙන්න පුළුවන්. මොකද ස්වභාවයෙන්ම සෙනසුරු ලග්නයේ ගමන් කිරීම මනසට හරි පීඩාවක් ඇතිකරන කාරණයක්. ඒක තේරුම් නොගෙන කටයුතු කළොත් ජනවාරි 19 දක්වා ඔබට ගතකරන්න වෙන්නේ තරමක් නරක විදියටයි. 2023 ජනවාරි 19න් පස්සේ සෙනසුරු ග්‍රහයා දෙවැන්නට ගමන් කරනවා. ඒ කියන්නේ තවත් වසර දෙකහමාරක ආරම්භයක් ඇතිකරනවා ඒරාෂ්ටකයේ. ඒ අවසාන කාලසීමාව. මතක තබාගත යුතු කරුණ තමයි සෙනසුරු ගමන් කරන්නේ ප්‍රථම මාරක ස්ථානයේ. විපත්තිදායක දේවල්, වැටීමෙන්, තැළීමෙන් හිරිහැර ඇතිවිය හැකියි. හිසට ආබාධ ඇතිවෙන්න ඉඩකඩ වැඩියි. ඇස්වල දත්වල ආබාධ ඇතිවිය හැකියි. දෙවැනිභාවයෙන් නිවේදනය කරන ශරීර කොටස් ගැනයි මම මේ කියන්නේ. මේ බව තේරුම් අරගෙන මකර ලග්න හිමියන් ලෞකික පැත්තට වඩා ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වුණොත් මේ වසර දෙකහමාර හොඳින් ගතකරන්න පුළුවන්.

කුම්භ

කුම්භ ලග්නයෙන් උත්පත්තිය ලැබූ ඔබගේ ලග්නාධිපති සෙනසුරු. සෙනසුරු අධිපතිත්වය දරන ලග්න දෙකක් තිබෙනවා. ඒ, කුම්භ සහ මකර. මකර ලග්නයේ තොරතුරු අපි කලින් කතා කළා. මකර සහ කුම්භ දෙකම සෙනසුරුට අයත් වුණාට මේ ලග්න දෙකේ වෙනස්කම් ගොඩක් තියෙනවා. කුම්භ ලග්නය කියන්නේ ආධ්‍යාත්මික ගුණය වැඩි ලග්නයක්. ආධ්‍යාත්මික ගුණය වැඩි ලග්නයක් වුණු සෙනසුරුට අයත් කුම්භ රාශියේ 2023 වසරේ ජනවාරි 19න් පස්සේ උදාවන කාලය ලග්නගත වෙනවා සෙනනුරු. දැනටමත් ඒරාෂ්ටකයක් ගතවෙන මොහොතක්. මේ ඒරාෂ්ටකයේ දෙවැනි භාගය ජනවාරි 19න් පස්සේ පටන්ගන්නවා. මානසික පීඩාවන් ඕනෑ තරම් ඇතිවිය හැකියි. ඒත් කුම්භ ලග්න හිමියන් ස්වභාවයෙන්ම ආධ්‍යාත්මික ගුණය පිරුණු අය නිසා මේ අවස්ථාවේ ඔබට ජයග්‍රහණය කළ හැකි ක්‍රම හඳුනාගෙන ඒ හරහා අන් අයටත් යහපතක් කරන්න පෙළඹීම වඩාත් හොඳයි. කුම්භ ලග්නයෙන් උත්පත්තිය ලැබූ පූජ්‍ය පක්ෂයට, යෝගාවචරයන්ට, සීලය හොඳින් ආරක්ෂා කරන අයට මෙම සෙනසුරු ලග්නගත වීම ඉතාමත් යහපත්. ශාස්ත්‍රීය පර්යේෂණ කිරීමට හොඳ කාලසීමාවක්. ජ්‍යොතිෂ වැනි විෂයන්වල යෙදෙන අයට ඒවා සාර්ථක කරගන්න පුළුවන්. අලුත් දේවල් සොයා බලන්න පුළුවන්. එවැනි කටයුතුවලින් ඔබේ ජීවිතයේ මෙතෙක් තිබුණු හැලහැප්පීම් අවම කරගැනීමට හැකියාව උදාවන බව මම පැහැදිලිවම කියනවා. 2023 වසර උදා වෙනකොටම ගුරු ගමන් කරන්නේ දෙවැන්නේ. දැනටමත් ආර්ථිකය ශක්තිමත් බවට පදනම වැටිලා ඇති. ඒක අප්‍රේල් දක්වාම සාර්ථකව ඉදිරියට ගෙනයන්න පුළුවන්. රාහු ග්‍රහයා ගමන් කරන්නේ 03 වැන්නේ. 03 වැන්න කියන්නේ ධාරණ ශක්තිය, සහෝදර බැඳීම නියෝජනය කරන තැන. නමුත් ඒ ධාරණ ශක්තිය වර්ධනය කරන්න රාහුගෙන් ලොකු බලපෑමක් නොලැබුණත් තමන්ගේ ආත්මගෞරවය ආරක්ෂා කරගෙන ඉදිරියට ඒ බලපරාක්‍රමයත් එක්ක ඉදිරියට යන්න පුළුවන් කාලයක් බව කිව යුතුයි.

මීන

මීන ලග්නයෙන් උපන් ඔබ 2023 වසරට පා තබන විටම ඔබගේ ලග්නාධිපති ගුරු ග්‍රහයා ස්වක්ෂේත්‍ර බලයෙන් කේන්ද්‍රගත වෙලා ඉන්නවා. කෝටියක් දෝෂ භංග වෙනවා කියලා තමයි කියන්නේ ගුරු කේන්ද්‍රගත වීම තුළ. මෙතැන කෝටියක් දෝෂ භංග වෙනවා කියලා කිව්වාම වරදවා තේරුම් ගන්න එපා, ඔබට දැන් සිදුව තිබෙන ව්‍යාපාර පාඩු, රැකියා ප්‍රශ්න යන සියල්ල ඉවර වෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. ගුරුගේ තිබෙන ආධ්‍යාත්මික ශක්තිය, ශාස්ත්‍රීය ඥානය, බුද්ධිමය ශක්තිය තමයි මෙතැනදී වර්ධනය කරන්නේ. ඒ කියන්නේ මීන ලග්න හිමියන්ට බුද්ධිය මෙහෙයවා කටයුතු කිරීමේ හැකියාවක් මේ මාස 04 තුළ ඇතිවෙන බවයි පෙන්නුම් කරන්නේ. හැබැයි මේ අවස්ථාවේදී ඔබට අවධාරණය කළ යුතු වැදගත් කරුණක් තිබෙනවා. දැනට 11 වැන්නේ ගමන් කරන සෙනසුරු ග්‍රහයා ජනවාරි මාසෙ 19 වැනිදායින් පස්සේ 12 වැන්නට ගෝචර වෙනවා. ඉන් පස්සේ මීන ලග්න හිමියන්ගේ ඒරාෂ්ටකය ආරම්භ වෙනවා. සෙනසුරු ඒරාෂ්ටකය. වසර හතරහමාරක ඒරාෂ්ටකය ආරම්භකම කාලසීමාව පටන්ගන්නේ 2023 ජනවාරි 19 වැනිදායින් පස්සේ. එසේ නම් මේ අවස්ථාවේ මීන ලග්න හිමියන් කටයුතු කළ යුත්තේ කෙසේද? ඔබ මෙතෙක් ලෞකික ජීවිතයකට වැඩි අවධානයක් යොමු කරලා කටයුතු කළා නම්, භෞතික සම්පත් ඒකරාශී කිරීමට ඔබේ කාලය ශ්‍රමය වැඩි වශයෙන් යෙදෙව්වා නම්, ඒවා තුලනය කරගැනීමට ඔබට සිදුවේවි. එහෙම නොවුණොත්, සෙනසුරු මීන ලග්න හිමියන්ට ඒ තරම් යහපත් ග්‍රහයෙක් නොවන නිසා ඔබට අපලකාරී තත්ත්වය පල දෙන්න ඉඩ තිබෙනවා. ඒක අපලයක් බවට පත් නොවෙන්න නම් ඔබ බුද්ධියට මුල් තැන දී කටයුතු කළ යුතු වෙනවා.

මීන ලග්නයෙන් උත්පත්තිය ලැබූ අයට සෙනසුරු ඒරාෂ්ටකය ගෙවන්න හොඳම උපක්‍රම දෙකක් තිබෙනවා. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින කෙනකුට ඒ සඳහා යොඳම කාලය තමයි සෙනසුරු ඒරාෂ්ටකය. ගෙයක් දොරක් හදාගන්න බලාපොරොත්තුවෙන්, ඒක කරගන්න බැරිව යම් පසුබෑමක හිටියා නම්, අමාරුවෙන් හරි ඒ කාර්යය ආරම්භ කළොත් ඔබේ අපලය ඒ හරහා ගෙවාගන්න පුළුවන්. ගෙයක් දොරක් හැදීම, ඉඩමක් සංවර්ධනය කිරීම, එහෙම නැත්නම් අධ්‍යාපන කයටුත්තක නිරත වීම, දිගුකාලීන පර්යේෂණයක නිරතවීම වැනි මනස වෙහෙස වන කාර්යභාරයක මීන ලග්න හිමියන් නිරත වුණොත්, මේ 2023 වසර කිසියම් ප්‍රතිඵලදායී ප්‍රතිඵලයක් සමාජයට දායාද කළ හැකි වර්ෂයක් බවට ඔවුන්ට පත්කර ගන්නට පුළුවන්.