2022 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉපැයූ ලාභය මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2022 වසරේ දී රුපියල් බිලියන 6.3 ක ශුද්ධ ලාභයක් ලබා ඇති බව ක්‍රිකට් ආයතනය පවසනවා.

සිය ආයතනය ඉතිහාසයේ ඉපැයූ ඉහළම වාර්ෂික ශුද්ධ ආදායම 2022 වසරේ දී ඉපැයූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

2021 වසරේ දී ක්‍රිකට් ආයතනය රුපියල් බිලියන 2.1 ක ලාභයක් ලබා තිබූ අතර, ඒ අනුව 2022 වසර වන විට එය තුන් ගුණයකින් ඉහළ නංවා ගැනීමට ක්‍රිකට් ආයතනය සමත්ව තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට්, දේශීය ක්‍රිකට්, අනුග්‍රාහක කොන්ත්‍රාත් හා අයි.සී.සී වාර්ෂික සාමාජික ගෙවීම් යන ආදායම් අංශ 4 යටතේයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම ලාභය ඉපැයීමට සමත්ව ඇත්තේ.

2022 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදු කර ඇති ආයෝජන සම්බන්ධයෙන් තොරතුරු ද අද (23) නිවේදනය කෙරුණා.

ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් සදහා රුපියල් බිලියන 4.2 ක මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආයෝජනය කර ඇති බව සදහන්. ජාතික කණ්ඩායමේ දේශිය හා විදෙස් සංචාර, ‘A’ කණ්ඩායමේ තරගාවලි, යොවුන් කණ්ඩායමේ සංචාර හා කාන්තා කණ්ඩායමේ සංචාර සදහා එම මුදල් ආයෝජනය කර තිබෙනවා.

මේ අතර, දේශීය ක්‍රිකට් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් බිලියන 2.27 ක මුදලක් ද 2022 වසරේ දී ආයෝජනය කර තිබෙනවා.

දේශීය තරගාවලි, ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ කටයුතු, දේශීය තරග ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ට හා තරග නිළධාරීන්ට ගෙවීම හා පාසල් ක්‍රිකට් සංවර්ධනය වෙනුවෙන් එම මුදල් භාවිතා කර ඇති බවයි ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ.

දිස්ත්‍රික් සහ පළාත් සංගම් මෙන්ම සාමාජික ක්‍රීඩා සමාජ සදහා ක්‍රීඩාංගන කළමනාකරණය හා පරිපාලන කටයුතු වෙනුවෙන් ප්‍රදාන ලෙස රුපියල් මිලියන 599 ක් 2022 වසරේ දී ලබා දීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සමාජ වගකීම් වැඩසටහන ඉටු කිරීමට රුපියල් බිලියන 1.2 ක මුදලක් ද පසුගිය වසරේ දී ආයෝජනය කර ඇති බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

එහිදී මෙරට සෞඛ්‍ය අංශය වෙනුවෙන් (ප්‍රධාන ලෙස අපේක්ෂා පිළිකා රෝහල හා රිජ්වේ ආර්යා ළමා රෝහල සදහා) රුපියල් මිලියන 900 කට වැඩි මුදලක් ද, ජාතික ක්‍රීඩා අරමුදල සදහා රුපියල් මිලියන 278 කට වැඩි මුදලක් ද, මහනුවර ගංගාරාම රජමහා විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා රුපියල් මිලියන 25 ක මුදලක් ද ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2022 වසරේ දී කටයුතු කර තිබෙනවා.