ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට සිල් රෙදි චෝදනාවෙන් නිදොස් කොට නිදහස්!
2015 ජනාධිපතිවරණය සමයේ දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම මගින් රජයට අයත් රුපියල් මිලියන 600ක මුදල් අවභාවිත කිරීම හා පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට අභියාචනාධිකරණයෙන් නිදොස් කොට නිදහස්කර ඇත.
ඉහත චෝදනා සඳහා කොළඹ මහාධිකරණය පැනවූ වසර තුනක සිර දඬුවම් හා දඩ නියම වී ඇප මත මුදාහැර සිටි ඔවුන් අභියාචනාධිකරණය හමුවට ගිය අතර අද(19) අභියාචනාධිකරණය විසින් එම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට තීන්දුකරන ලදී.
තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා චූදිතයන් දෙදෙනා විසින් ගොනු කරන ලද අභියාචනා පෙත්සම් පිළිබඳ තීන්දුව ලබා දෙමින් කුමුදුනි වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන විනිසුරුවරියන්ගෙන් යුත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.
මෙම අභියාචන පෙත්සම් පිළිබඳ තීන්දුව නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබීම හේතුවෙන් ප්‍රමාදකරනු ලැබ අද දින ප්‍රකාශයට පත් විය.