විරෝධතා මැද යාපනය තිස්ස විහාරයේ වෙසක් සැමරෙයි!

ශ්‍රී ලංකාවේ පෞරාණික බෞද්ධ උරුමයක් වූ යාපනය, කන්කසන්තුර, තිස්ස රජමහා විහාරයේ නව දාගැබ්වහන්සේගේ කොත නිරාවරණයට විරුද්ධව අඛණ්ඩව දින 04 ක් තිස්සේ උතුරේ ප්‍රධාන දේශපාලන නායකයින්ගේ පෙළඹවීම මත ආරම්භ කර ඇති විරෝධතාවය නොසලකා විහාරස්ථානයේදී වෙසක් සැමරුම පැවැත්වීමට විහාරස්ථ දායක සභාව කටයුතු කර තිබේ.

ඉතාම සාහසික ලෙස ආගමික සහ වාර්ගික ගිනි අවුලුවමින් දේශපාලනය කරන උතුරේ දේශපාලකයින් මේ මතු කරමින් ඇත්තේ ඉතාම අනවශ්‍ය ආගම්වාදී ගැටලුවක් බව වාර්තා වේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අවසන් වරට 1986 තෙක් ආරාම භූමියක් සේ නඩත්තු වුන මේ භූමියට , දෙවැනි පෑතිස් රජ දවස තෙක් දිවෙන ඉතිහාසයක් සහිත බව පැහැදිලි ලේඛනගත සාධක සහිතව ඉදිරිපත් වී තිබෙද්දී යුද්ධයෙන් අනතුරු කාලයේ යළි මෙම භූමිය ප්‍රතිසංස්කරණයට එරෙහිව දෙමළ දේශපාලකයින් උක්ත විරෝධතාවය කුළුගන්වා ඇතැයි දැනගන්නට ඇත.

කන්කසන්තුරය තිස්ස රජමහා විහාරයේ නව දාගැබේ කොත නිරාවරණය කිරීම නවතා දමන ලෙසට හා යාපනයේ නව බෞද්ධ විහාර ඉදිකිරීම නවතාලන ලෙසට ඉල්ලීම් කරමින් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය නියෝජිනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වසා ගජේන්ද්‍රන් ඇතුළු පිරිසක් අඛණ්ඩ විරෝධතාවයක නිරතව වන්නේ පසුගිය 02 වැනිදා සිටය.

පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන්ගේ විරෝධතාවයට සහයෝගය පළ කිරීමට ඔහගේ ආධාරකරුවන් පිරිසක්ද ඊයේ එම ස්ථානයට පැමිණ ඇත.

ඓතිහාසික තිස්ස විහාරය දෙවන පෑතිස් රජ දවස දක්වා දිවෙන ඓතිහාසික පුදබිමකි. මහාවංශය ප්‍රකාරව සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධිය වැඩමවාගෙන දඹකොල පටුනින් ගොඩබැස යළි අනුරාධපුරය කරා යන ගමනේ දී දෙවන පෑතිස් රජ ප්‍රමුඛ සේනාවන්හි රැකවරණය සහිතව තෙදිනක් ගිමන් හළ භූමියේ තිස්ස විහාරය පිහිටුවීය. ඒ දෙවන පෑතිස් රජ දවසමය.

මේ භූමියේ වර්ෂ 1956 දක්වා පන්සලක් පැවතිනි. මේ අවට අනුරාධපුර යුගයට අයත් යැයි සැලකෙන පුරාණ නටබුන් ප්‍රමාණයක් විසිරී ඇති අයුරු අදත් දැක ගත හැකිය.

1956 “ශ්‍රී කෝලාහලයේ දී” හිමිවරු පන්සල අත්හැර තාවකාලිකව දකුණට වැඩියහ. වර්ෂ 1971 දී මනින ලද සිතියම් ප්‍රකාරව අක්කර 10කට ආසන්න භූමියක් මෙම පන්සල වෙනුවෙන් වෙන් වී තිබිණි. පන්සල ලකුණු වී තිබිණි. යළි මේ පන්සල අත්හැරෙන්නේ වර්ෂ 1987 දී ය. ඒ වනතුරු මේ භූමියේ පෞරාණික පන්සලක් ඇති ආකාරය සිතියම්වල සලකුණු වී තිබිණි.

මේ දත්ත හා සාක්ෂි මත පදනම් කරගෙන මේ භූමියේ යළි පන්සල පිහිටුවන්නේ වර්ෂ 2019 දී ය.

විහාරස්ථානයේ නව දාගැබේ කොත පැළඳවීමේ උත්සවය පසුගියදා පැවැත්විනි. කොත නිරාවරණය කිරීම වෙසක් පුණු පොහොය දා යෙදී තිබුණත් විරෝධතා හේතුවෙන් එය සිදුකිරීමට නොහැකි වූයේය.