13 හැවිරිදි දියණිය ගැබිනියක් කළ පියෙකුට වසර 45ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක්

වසර 22කට පෙර සිය 13 හැවිරිදි දියණියව අපයෝජනය කර ගැබිණියක කළ පියෙකුට වසර 45ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක්,රුපියල් 30,000/=ක දඩයක් හා අගතියටපත් දැරියට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණය ඊයේ (30) සවස නියෝග කළේය.

මෙලෙස සිර දඩුවම් නියම වුයේ හම්බන්තොට පදිංචි ඩී.එච්.කේ.මිල්ටන් සිල්වා නැමති 63 හැවිරිදි පුද්ගලයෙකුටය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

චුදිත පුද්ගලයා විසින් 2001.05.01 දින සිට 13 හැවිරිදි දියණියව අපයෝජනය කර ගැබිණියක කර තිබේ. 13 හැවිරිදි දැරිය බඩේ අමාරුවක් සදහා වෛද්‍ය ප්‍රථිකාර ලබා ගැනිමට ගිය අවස්ථාවේ දැරිය පරීක්ෂා කළ වෛද්‍ය වරුන් පවසා ඇත්තේ දැරිය ගැබ් ගෙන ඇති බවයි.

ඒ අනුව රෝහල් පොලිසිය විසින් සිදුකල දැනුම්දිමකට අනුව හම්බන්තොට පොලිස් නිළධාරීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත. එහිදි දැරිය පවසා ඇත්තේ සිය පියා විසින් තමන්ට මෙම කරදරය සිදුකළ බවයි.

ඒ අනුව පොලිසිය විසින් චුදිත පියා අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු පැවති මුලික නඩු විභාගයෙන් අනතුරුව නිතිපති වරයා විසින් චුදිතට එරෙහිව අධි චෝදනා 03ක් යටතේ හම්බන්තොට මහාධිකරණය හමුවේ නඩු පවරණ ලදි.

එහිදී චුදිත පුද්ගලයා විසින් තමන්ට එරෙහිව නීතිපති වරයා විසින් නගා තිබූ අධිචෝදනා 03 සදහා තමන් වරද පිළිගන්නා බව විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කරන ලදි. අදාල චෝදනා 03 සඳහා චුදිත වරද පිළිගැනීම හේතුවෙන් මහාධිකරණ විනිසුරු වරයා චුදිතට පහත පරිදි දඩුවම් නියම කෙරුණි.

චුදිතට එක් එක් චෝදනාවට වසර 15 බැගින් චෝදනා 03 සදහා වසර 45ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණු අතර චෝදනා 03 සදහා රුපියල් 10,000 බැගින් රුපියල් 30,000ක දඩයක්ද නියම කෙරුණි. චුදිත දඩ නොගෙවන්නේ නම් මාස 06 බැගින් මාස මාස 18ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණි.

ඊට අමතරව අගතියට පත් දැරියට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවන ලෙසටද චුදිතට නියම කෙරුණු අතර චුදිත එය නොගෙවන්නේ නම් ඉහත දඩුවම් වලට අමතරව තවත් මාස 18ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණි.