පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තයින් තිදෙනෙකුට ඇමරිකාවෙන් නඩු

2019 අප්‍රේල් 21 පාස්කු දින ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා එල්ල වී තිබෙන තිදෙනෙකුට එරෙහිව නඩු පැවරීමට ඇමරිකාව කටයුතු කර තිබේ.

මේ වන විටත් මෙරට අත්අඩංගුවේ පසුවන මොහොමඩ් නවුෆර්, මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්ඛාන්,අහමඩ් මිල්හාන් හයාතු මොහොමඩ් යන පාස්කු ත්‍රස්තවාදීන් තිදෙනාට එරෙහිවයි ඇමරිකාව චෝදනා ගොණු කර ඇත්තේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ සම්බන්ධයෙන් ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ විදේශ ත්‍රස්ත සංවිධානයක් ලෙස තම රට නිවේදනය කර තිබෙන ISIS සංවිධානයට සහය දක්වා ඇති මෙම ත්‍රස්ත කණ්ඩායම ISIS ශ්‍රී ලංකා ලෙස තමන් හඳුන්වාගෙන තිබෙන බවයි.

එමෙන්ම එම ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ කෙරෙන විමර්ශනයට සහ නඩු පැවරීමට ඇමරිකාව ලෙස පූර්ණ සහය දෙන බවද අමෙරිකානු ආරක්ෂාව පිළිබද සහකාර නීතිපති ජෝන් සී ඩෙමර්ස් මහතා පවසා තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන මොහොමඩ් නවුෆර් නමැත්තා පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහමොළකරු ලෙස හඳුනාගෙන තිබෙන අතර අහමඩ් මිල්හාන් හයාතු මොහොමඩ් මැද පෙරදිගදී අත්අඩංගුවට ගැනුණි. ඔහු මෙරටට පිටුවහල් කෙරුණු අතර ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නව නායකයා ලෙස ද ඔහුව හඳුනා ගෙන ඇත.

පාස්කු ප්‍රහාරයෙන් ඇමරිකාවේ වාණිජ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක ඇතුළු පස්දෙනෙක් මිය යාම හේතුවෙනුයි ඇමරිකාව මෙලෙස එම ත්‍රස්තයින් වෙත නඩු පැවරීමට කටයුතු කර ඇත්තේ.

මෙම ප්‍රහාරයෙන් 268 දෙනෙකු මිය ගිය අතර තවත් 500කට ආසන්න පිරිසක් තුවාල ලැබීය.

මේ සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් ද පත්කෙරුණු අතර එහි වාර්තාව නිකුත් වී අවසන්ය.

අනතුරුව එවකට ජනාධිපතිව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කෙරුණු අතර එය වසරකට වැඩි කාලයක් සාක්ෂි විභාගය සිදුකරන ලදී. එහි අවසන් වාර්තාව එළෙඹෙන 31 වැනිදා වන විට ජනාධිපතිවරයා වෙතා භාර දීමට නියමිතව ඇත.

අනතුරුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව හා මෙම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පදනම් කරගෙන නීතිපතිවරයා විසින් චෝදනා ගොණු කෙරෙනු ඇති.