ලෝකයේ වීදි පුරා ඇවිද යන ලාංකික වීදි ඡායාරූප ශිල්පියා

‘වීදි ඡායාරූපකරණය’ (Street Photography) ලංකාවට තවමත් අලුත් නමුත් ලෝකයට විශාල ක්ෂේත්‍රයක් ලෙස විවර වුණු කලාවකි. මෙලෙස වීදි ඡායාරූපකරණයේ යෙදෙන ලාංකිකයෙක් අපට හමුවිය. ඔහු නමින් ස්ටෑන් ද සොයිසාය. ස්ටෑන් මේ වනවිට ස්පාඤ්ඤයේ ජීවත් වන අතර, වීදි ඡායාරූපකරණ තරගාවලි රැසක ජයග්‍රහණයන් ඔහු සතුය.

”මම ඉපදුනේ ලංකාවේ. පාසල් ගියේ ශාන්ත පීතර විද්‍යාලයට. මම දැන් පදිංචි වෙලා ඉන්නේ ස්පාඤ්ඤයේ බාසිලෝනාවල. මෙහෙට ඇවිත් දැන් අවුරුදු විස්සක් විතර වෙනවා. මම මෙහේ වෘත්තීමය ඡායාරූප ශිල්පියෙක් වශයෙන් වැඩ කරන්නේ නැහැ. මම වෘත්තියෙන් මෝටර් රථ ක්ෂේත්‍රයේ ඉංජිනේරුවරයෙක්.”

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ස්ටෑන් කතාබහ ආරම්භ කළේ එලෙසිනි. ඔහු වීදි ඡායාරූපකරණයට පිවිසෙන්නේ සිය බිරිඳගේ පියා හරහාය. ඔහුද ලෝකයේ ප්‍රසිද්ධ වීදි ඡායාරූප ශිල්පියෙකි.

”මම වීදී ඡායාරූපකරණය (Street Photography) පටන් අරගෙන වැඩි කාලයක් නැහැ. මම හිතන්නේ අවුරුදු පහක් හයක් විතර ඇති. මගේ බිරිඳගේ තාත්තත් වීදි ඡායාරූප ශිල්පියෙක්. ඔහු 1980 විතර ඉඳලා වීදි ඡායාරූපකරණයේ යෙදෙන කෙනෙක්. එයාගේ ඡායාරූප දැකලා මම ඔහුගෙන් මේ ගැන ඉගෙන ගත්තා. ඊට පස්සේ මේ Street Photography කියන ක්ෂේත්‍රයට අඩිය තිබ්බා.”

කෙටි කාලයකින් ඡායාරූපකරණට පිවිස ස්ටෑන් ලබාගත් ජයග්‍රහණයන් රැසකි.

”Sony world photography – 2019 තරගාවලියේ අවසන් දහදෙනා අතරට මගේ ඡායාරූපයක් තේරී පත්වනවා. ඊට අමතරව 10th Leica Street Photo – Poland, PhoS Athens Festival 2018, Miami Street Photography Competition 2018, London Street Photography Festival 2020, Italian Street Photo Festival 2019, Italian Street Photo Festival 2020, Bangkok Street Photo Festival 2020, StreetFoto San Francisco 2019 ඇතුළු විශාල වීදී ඡායාරූප තරගාවලි විසිපහක් තිහක් පමණ මම ජයග්‍රහණය කර තිබෙනවා. ඒ ජයග්‍රහණ ඇතුළේ පලමු ස්ථාන රැසක්ම තිබෙනවා. කෙටි කාලයක් තුළ මේ පැමිණි ගමන යම් ප්‍රමාණයකින් සාර්ථක වෙලා තිබෙනවා.

වීදී ඡායාරූප කලාව ලෝකයේ ආරම්භ වන්නේ 1950දි විතර. 2000 වර්ෂයේදී ඉඳලා වගේ වීදි ඡායාරූපකරණය කියන එක වෙනස් විදිහට දකින්න ඡායාරූප ශිල්පීන් සමත් වුණා. ඒ සමගම තමයි Modern Street Photography නිර්මාණය වෙන්නේ. මේ වෙද්දි වීදි ඡායාරූපකරණය Contemporary Art එකක් විදිහට යනවා.

ලංකාවේ Street Photography කරන අය අඩුයි. තාම මේ ෆීල්ඩ් එක ලංකාවට අලුත්නේ. හැබැයි ඉන්දියාවේ නම් ගොඩක් මේ කලාව ජනප්‍රියයි. Magnum photos කියන්නේ ලෝකයේ වීදි ඡායාරූපවල විශේෂ සලකුණක්. එතැනට යන්න ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්. ඒත් දක්ෂතමයන්ට විතරයි. ඉන්දියාවේ දෙන්නෙක් මේ වෙද්දි Magnum එකේ ඉන්නවා. වීදි ඡායාරූප කලාව ලංකාවේ ලොකුවට නැති වුණාට ලෝකයේ අනෙක් හැම රටකම වගේ ඉතා ජනප්‍රිය වගේම දියුණු කලාවක්. එතැනට එකතු වීම ලොකු හීනයක්.”

වීදී ඡායාරූපකරණය තුළ ස්ටෑන් දක්වන දක්ෂතා අපූරුය. මෙම විෂය තුළ තිබෙන්නේ ඇවිදීම සහ සිතීම බවයි ස්ටෑන් පවසන්නේ.

”වීදි ඡායාරූපකරණයේ තිබෙන පළමු රීතිය තමයි අපිට කියන්න බැහැ ‘මිනිස්සුන්ට මෙහෙම ඉන්න අර විදිහට ඉන්න’ කියලා. ඒ නිසා ඉතා වැදගත් වෙන්නේ ශිල්පියාගේ පරිකල්පනීය ශක්තියයි. අනික ස්වාභාවික ආලෝකයනේ මේ ඡායාරූපවල තියෙන්නෙත්. විදී ඡායාරූප කියන්නෙම ‘වේලාව’. සමහරවිට දවසේම ඉඳලා ඉඳලා පින්තූර ගත්තත් එකයි දෙකයි හොඳ. එළියට බැස්සාම දවසේම ඇවිදිනවා. පැය අටක් දහයක් ඇවිදිනවා. පින්තූරයක් ගන්න හැඩයක්, අපූර්ව දෙයක් හම්බෙනකල් මම ඇවිදිනවා.”


මෙම කතාබහ තුළ ඔහු ඇවිද ගිය රටවල්, ප්‍රදේශ සහ ඒ අත්දැකීම් පිළිබඳවද ඔහුගෙන් විමසීමි.

”මං බාසිලෝනාවල හුඟක් පින්තූර ගන්නවා. එතකොට එංගලන්තය, ඉතියෝපියා, තුර්කි ස්ථාන්බුල් ඇතුළු යුරෝපයේ රටවල් රැසකට මම පින්තූර ගන්න ගිහිල්ලා තියෙනවා. මොකද මෙහේ ඉඳලා ගොඩක් ලාබෙට සහ ඉක්මනට යන්න පුළුවන්. ලංකාවේ තමයි අඩුවෙන්ම පින්තූර අරගෙන තියෙන්නේ. මෙක්සිකෝව, පෝලන්තය, සිඩ්නි, බෙල්ජියම්, ඉන්දියාව, සැන් ෆ්‍රැන්සිස්කෝ, ඉතාලි ඇතුළු රටවල් රැසක ඡායාරූප ප්‍රදර්ශන පවත්වලා තියෙනවා. මගේ ඒවාට අමතරව කණ්ඩායම් ප්‍රදර්ශනවලටත් සහභාගී වෙලා තියෙනවා. මම හුඟක් වෙලාවට වෙන රටකට යන්නේ Street Photographyවලටම තමයි. ඒ ගිහිල්ලා දවස් ගණන් ඉන්නවා. සමහර වෙලාවට වෙන වැඩවලට යද්දිත් පින්තූර ගන්න අවස්ථාව ලැබෙනවා. සාමාන්‍යයෙන් මට දිග නිවාඩුවක් ලැබුණාම යනවා. ඊට පස්සේ දවසේම ඇවිදිනවා.

වීදී ඡායාරූපවලට වෙනමම සඟරා ලෝකයේ තිබෙනවා. ඒවාට මගේ ඡායාරූප ගොඩක් මම දීලා තියෙනවා. ජර්මන්වල පුවත්පතක් මට කතා කරලා මගේ බයිසිකල් ඡායාරූපය ඉල්ලලා තිබුණා. එයාලා ඒ පින්තූරේ අරගෙන ‘නගර ඇතුළේ වාහන පාවිච්චි කරන්නේ නැතුව ගමන් කිරීම’ ගැන ලිපියක් ලියලා තිබුණා.”

වීදී ඡායාරූපකරණය තුළින් ලෝකයේ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙක් සහ සම්මානනීය ශිල්පියෙකු වන ඔහු මෙය වෘත්තියක් ලෙස සිදු නොකිරීමමෙම ලිපිය කියවන පාඨක ඔබට විශාල ගැටලුවක් විය හැක. ඒ පිළිබඳව ස්ටෑන්ගේ අදහස මෙසේයි.

”වීදි ඡායාරූපකරණය කියන දේ වෘත්තියක් විදිහට කරන්න ටිකක් අමාරුයි. සාමාන්‍යයෙන් වීදි ඡායාරූපකරණය උගැන්වීම වෘත්තියක් විදිහට කරන්න පුළුවන්. නමුත් වීදි ඡායාරූපකරණයේ නියැළීම වෘත්තියක් විදිහට කරනවා නම් සල්ලි තියෙන්නම ඕනේ. මගේ හිතවත් ඡායාරූප ශිල්පීන් කිහිපදෙනෙකු සහ මම අර මුලින් කියූ magnum එකේ ශිල්පීන් නම් මේක වෘත්තියක් විදිහට කරගෙන යනවා.”

ඕනෑම ‘කලාවක්’ පුද්ගලයෙකුට මානසික නිදහසක්, තෘප්තියක් ගෙන ඒමට සමත්ය. ස්ටෑන් වීදි ඡායාරූපකරණයේ නිරත වන්නේද විනෝදාංශයක් ලෙසය. එතුළින් ඔහුට විශාල මානසික සැහැල්ලුවක්ද ගෙන එන බවයි ඔහු පවසන්නේ.

”අපි වැඩ කරන ක්ෂේත්‍රය ටිකක් ආතතිය ගේන තැනක්. ඒක හැමතැනම එහෙමයි. එතකොට තමන්ගේ ආතතිය නැති කරගන්න පුළුවන් දෙයක් හැමෝටම අවශ්‍යයි. මම හිතනවා මගේ ඒ කාර්යබහුල ජීවිතයට මානසික සුවයක් ගේන්නේ මේ ඡායාරූපකරණය කියලා. අනික මේ ඡායාරූප බලන අයටත් ඒක මානසික සහනයක් වෙනවා ඇති.”

ලෝකය පුරා ඇවිද යමින් ඒවා ඡායාරූපයට නගන ස්ටෑන් ලංකාවට පැමිණ ප්‍රදර්ශනයක් පැවැත්වීමටද බලාපොරොත්තුවෙන් සිටියි.

”ලංකාවට ඇවිත් ප්‍රදර්ශනයක් පවත්වන්න අදහසක් තිබෙනවා. නමුත් මේ කෝවිඩ් තත්ත්වය සමග ඒක කරන්න පුළුවන් වෙයිද දන්නෙ නැහැ. කොහොමත් තත්ත්වය සමනය වුණාට පස්සේ ලංකාවට එන්න බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ වගේම මගේ වීදී ඡායාරූප එකතු කරලා පොතක් එළිදක්වන්නත් ඉදිරියේදී ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා.”

SARAVITA – කැළුම් දේවින්ද