විදෙස්ගතව සිට පැමිණෙන පිරිස් සඳහා නැවතත් සීමා

විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් අතරින් කොවිඩ් -19 ආසාදිතයින් වාර්තාවීම ඉහළයෑම හේතුවෙන් ඉදිරියේදී විදෙස් රටවල සිට පැමිණෙන පිරිස් සීමා කිරීමකට හෝ පාලනයකට ලක් කිරීමට සිදුවන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ මේ වසරේ ගතවූ කාලය තුළ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් 52,710 දෙනාගෙන් 1,593 දෙනෙකු විදෙස් රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් බවය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අප්‍රේල් මාසයේ මේ දක්වා කාලය තුළ හඳුනාගත් නව ආසාදිතයින් 3,480 දෙනාගෙන් 538 දෙනෙකුම මැදපෙරදිග සහ යුරෝපය ඇතුළු රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් බවද ඔහු පවසයි.

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් මේ වනවිට ලොව බොහෝ රටවල සංචරණ සීමා දැඩි කිරීමට සහ ගුවන් ගමන් අත්හිටුවීමට පියවරගෙන ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ පවතින සාධනීය තත්ත්වය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑම සඳහා විදෙස් රටවල සිට පැමිණෙන පිරිස් කිසියම් සීමා කිරීමකට හෝ පාලනයකට ලක් කිරීමට සිදුවන බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.