මුල්ලිවයික්කාල් ස්මාරකය ඩෝසර් කිරීමෙන් යාපනය විශ්වවිද්‍යාලයේ නොසන්සුන්තාවක්

යුධ සමයේ මියගිය පුද්ගලයින් සිහිපත් කිරීම සඳහා යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ පිහිටුවා තිබුණු මුල්ලිවයික්කාල් ස්මාරකය බලධාරීන් විසින් ඩෝසර් කරවීම නිසා ඊයේ (08) රාත්‍රියෙහි එම විශ්වවිද්‍යාලයෙහි නොසන්සුන්තාවක් පැණ නැඟී තිබේ.

මෙම ස්මාරකය කඩා ඉවත් කිරීමට එරෙහිව එම විශ්වවිද්‍යාලයේ සිසුන් දැඩි විරෝධය පළකර ඇති අතර පොලිසියේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව මැද එය කඩා ඉවත් කර ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ගිනිඅවි රැගත් ආරක්ෂක අංශ සාමාජිකයින් විශාල සංඛ්‍යාවක් යාපනය විශ්වවිද්‍යාලය ඉදිරිපිට සහ ඒ අවට යොදවා තිබුණු අතර ඊයේ මධ්‍යම රාත්‍රිය වනවිටත් ඔවුන් යතුරුපැදි වලින් විශ්වවිද්‍යාලය වටා සංචාරයෙහි නිරත වන ආකාරය ද යාපනයේ මාධ්‍ය වාර්තා කර තිබිණි.

මේ අතර මෙම ස්මාරකය කඩා බිඳ දැමීම වාර්තා කිරීම සඳහා පැමිණි මාධ්‍යවේදින්ට ද පොලිසිය සහ තවත් සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක් එක්ව පහරදී ඇති බව ද යාපනයේ මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම විරෝධතාව අතරතුර යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු ද පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර යාපනය විශ්ව විද්‍යාලයෙහි උපකුලපතිවරයා පවසන්නේ මෙම ස්මාරකය අනවසර ඉදිකිරීමක් හෙයින් එය කඩා දැමූ බවයි.