යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා මාර්ගයෙන් අභ්‍යාසලාභි ව්‍යාපෘති සහකාර නිලධාරීන් ගෙන් ජනාධිපතිවරයා වෙත සංදේශයක්

තාවකාලිකව අත්හිටුවා ඇති අභ්‍යාසලාභි ව්‍යාපෘති සහකාර නිලධාරි පත්වීම් නැවත ලබාදෙන මෙන් ඉල්ලා, ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා මාර්ගයෙන් 2020.06.17 දින ලිපියක් භාරදී ඇත.
යාපනය දිස්ත්‍රික්කයේ අභ්‍යාසලාභි ව්‍යාපෘති සහකාර නිලධාරීන් රැස්ව ජනාධිපතිවරයා සඳහා වන සංදේශය දිස්ත්‍රික් ලේකම්වරයා වෙත භාරදී ඇත.

එම ලිපියෙහි,
අභ්‍යාසලාභි ව්‍යාපෘති සහකාර නිලධාරීන් බඳවා ගැනීමට රට පුරා අයදුම්පත් කැඳවා ජූනි සහ අගෝස්තු මාසයන්හි අරලියගහ මන්දිරයේදී සම්මුඛ පරීක්ෂණ දෙකක් පවත්වා සැප්තැම්බර් මස 16 වන දින 6547 දෙනෙකුව අභ්‍යාසලාභි ව්‍යාපෘති සහකාර නිලධාරින් වශයෙන් තොරාගන්නා ලදි.

තොරාගත් අයදුම්කරුවන්ගේ නාමලේඛණය දිවයින පුරා ඇති දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත යවන ලදි. ඉන් පසු අප සියළු දෙනා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ගොස් පැමිණීමේ නාමලේඛණයේ අත්සන් කලෙමු. දිස්ත්‍රික් ලේකම් කාර්යාල විසින් පත්වීම් ලද සමහරෙකුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත අනුයුක්ත කර රාජකාරි භාරගන්නා ලෙස දන්වන ලදි. මේ අන්දමට පත්වීම් ලද අය අත්සන් තබා රාජකාරි භාරගෙන තිබූ පසුබිමක 2019.09.18 දින ජනාධිපතිවරණය සඳහා දින නියම කල හේතුවෙන් 2019.09.23 දින මැතිවරණ කොමිසමේ සභාපති වන මහින්ද දේශප්‍රිය මහතා විසින් මෙම පත්වීම් තාවකාලිකව අත්හිටුවන බව සියළු දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලට ෆැක්ස් පණිවිඩයක් මාර්ගයෙන් දන්වන ලදි. ජනාධිපතිවරණයට දින නියම කල දිනය 2019.09.18 සහ අභ්‍යාසලාභී ව්‍යාපෘති සහකාර නිලධාරි පත්වීම් ලබාදුන් දිනය 2019.09.16 වේ.

2019.11.18 දින තාවකාලිකව අත්හිටුවූ අපගේ සේවය නැවත ආරම්භ කිරීමට ජනාධිපතිවරණයෙන් පසු අපගේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගියෙමු. ජනාධිපතිවරණයෙන් පසු අපව නැවත සේවයට කැඳවන ලෙස මැතිවරණ කොමිසමේ ගරු සභාපතිවරයා විසින් ෆැක්ස් මාර්ගයෙන් ලිපියක් යවා තිබුණි. එනමුත් අදාල අමාත්‍යාංශය විසින් මෙම පත්වීම් පිළිබඳ කිසිඳු තොරතුරුක් දන්වා නොමැති බව ප්‍රකාශ විය. පසුව මෙම පත්වීම් තාවකාලිකව අත්හිටුවන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා දන්වා සිටින ලදි.
මෙම පත්වීම් ලබාදෙන මෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලිඛිතව සහ සාකච්ඡා වලදී රජයට අවධාරණය කර තිබුණි. නමුත් රජයෙන් කිසිඳු පිළිතුරක් අපට ලැබුනේ නැත. මේ හේතුවෙන් 6547 දෙනෙකුගේ ජිවිත ඉතා කණගාටුදායකවී ඇත. මාස 08 ක පමණ කාලයක් රැකියාවක් නොමැතිව, ජීවනෝපාය අහිමිව මහපාරට වැටී සිටින්නෙමු.

අද පවතින අසාමාන්‍ය තත්වය තුළ අප අතරින් බොහෝ දෙනෙක් විවිධ සමාජ අපහසුතාවන්ට මුහුණ දී සිටියි. පෙර කල රැකියාවන්ද නොමැත. මෙම රැකියාවත් ලැබෙන බවක් නොපෙනේ. පවුල් 6547 ක ජීවනෝපාය මේ වන විට ප්‍රශ්නාර්ථයක් වී ඇත.
අදාල අමාත්‍යාංශය විසින් පත්වීම් ලබා, ඔබගේ අධීක්ෂණය යටතේ අපගේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල සේවයට යෙදවූවත්, අද දක්වා සේවය ආරම්භ කිරීමට නොහැකිව සිටින්නෙමු. මෙම රැකියාව බලාපොරොත්තුවෙන් සිටින අපගෙත් අප පවුලේ සාමාජිකයින්ගෙත් බලාපොරොත්තු ඉටුකරනා අයුරින් රැකියා ලබාදීමට අපගේ දිස්ත්‍රික් ලේකම්වරයා වන ඔබ අදාල අමාත්‍යාංශය සමග සම්බන්ධ වී මෙයට නිසි විසඳුමක් ලබාදෙන අන්දමින් කටයුතු කර දෙන මෙන් සමස්ත ලංකා අභ්‍යාසලාභි ව්‍යාපෘති සහකාර නිලධාරීන් වෙනුවෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු යනුවෙන් සඳහන් කර ඇත.

මෙම ලිපිය භාරගත් යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා මෙය නිසි අයුරින් ගරු ජනාධිපතිවරයාට යවන බව අභ්‍යාසලාභි ව්‍යාපෘති සහකාර නිලධාරින්ට පොරොන්දු වී ඇත.

Comments are closed.