අපේ අරමුණ ආණ්ඩු බලය ලබා ගැනීම මිස පක්ෂ මුලස්ථානවලට ගල් ගැසීම නොවෙයි – රනිල්

එක්සත් ජාතික පක්ෂයේ අරමුණ ආණ්ඩු බලය ලබා ගැනීම මිස පක්ෂ මූලස්ථානවලට ගල් ගැසීම නොවන බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ඒ,අද (28) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මහ මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙහිදී වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියේ රට පාලනය කිරීමේ වරම එජාපයට ලබා දෙන ලෙසයි. රටේ ආර්ථිකය වැටුණු සෑම අවස්ථාවකදීම ගොඩගත්තේ එජාපය වන අතර විශේෂයෙන් පාස්කු ප්‍රහාරයෙන් පසු වැටුණු ආර්ථිකය වසර අවසාන වීමට පෙර යථා තත්ත්වයට පත් කරගැනීමට හැකි වූ බවද ඔහු කියා සිටියේය.

“අපි ගෑස් සිලින්ඩර නොවෙයි. අපි එන්නේ ප්‍රතිපත්ති එක්ක. අපිට අවශ්‍ය මේ රටේ ප්‍රතිපත්ති ගැන වාදයක් විවාදයක් ඇතිකරගන්න. සමහරු කියනවා අපි ආණ්ඩුව එක්ක ගිවිසුම් ගහලා කියල. අපි ආණ්ඩුව එක්ක සම්මුතිවලට එළඹිලා නැහැ. පොහොට්ටුව එක්ක සම්මුතිවලට එළඹිලා නැහැ. අපේ ගිවිසුම තියෙන්නේ ජනතාව සමඟ පමණයි.”

ඒ අනුව ගෙදර ආර්ථිකය හැදීමටත්,කොරෝනා දෙවන වටය පාලනය කිරීමටත්,ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමටත් ආණ්ඩුව ලබා ගැනීමට වරමක් දෙන ලෙස වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Comments are closed.