මත්කුඩු ජාවාරම්කරුවන්ගේ ගිණුම් වලට මුදල් බැර කරන ව්‍යාජ බැංකුවක් සොයාගනී

මත්කුඩු ජාවාරම්වල නිරත ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන මුදල් මහපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ ගිණුම් වලට මුදල් බැරකරන විශ්‍රාමික බැංකු නිලධාරියකු විසින් රහසිගතව පවත්වාගෙන යන ව්‍යාජ බැංකුවක් වේරහැර ප්‍රදේශයේ දී සොයාගත් බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (03) පැවසීය.

ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මත්කුඩු ජාවාරමෙන් උපයාගන්නා මුදල් මෙම විශ්‍රාමික බැංකු නිලධාරියාට ලබා දෙන බවත් ඔහු එම සියලු මුදල් ලබාගෙන ඔහුගේ බැංකු ගිණුමෙන් අදාළ මහාපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ ගිණුම් වලට බැරකරන බවත් දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටියේය.

මෙම සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 10 දෙනකුගේ ගිණුම් වලට මේ ආකාරයෙන් මුදල් බැරකර ඇති බවට තොරතුරු හෙළිවී ඇති බවද දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

මෙම සැකකරු මාසයකට ආසන්න කාලයක් තුළ රුපියල් ලක්ෂ 65 ක මුදලක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගිණුම්වල තැන්පත් කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

මොහු මෙම මුදල් බැරකිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂයට රුපියල් 9000 බැගින් කොමිස් මුදල් අයකරන බවත් ලක්ෂ 50 ක් බැර කළහොත් ඊට සාපේක්ෂකව කොමිස් මුදල් ලබා ගන්නා බවත් තෙන්නකෝන් මහතා කියා සිටියේය.

මොහු කොපමණ කාලයක සිට මෙම මුදල් බැර කිරීම සිදුකළේ ද කිනම් ගිණුම් වලට මුදල් බැර කළේද යන්න තොරතුරු හෙළි කර ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවද තෙන්නකෝන් මහතා පැවසීය.

මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා මත්ද්‍රව්‍ය නාශක අංශය, විශේෂ පොලිස් ඒකක හා පොලිස් ස්ථාන මගින් වැටලිම් වැඩි කර අත්අඩංගුවට ගැනීමේ ප්‍රමාණය වැඩි කරන්න පොලිස් නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවද හෙතෙම කියා සිටියේය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එම ජාවාරමෙන් උපයාගත් මුදල් කාගේ ගිණුම් වලට බැර කර ඇති ද , ඔවුන් කවුද යන්න හෙළි කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් පොලිස්පතිවරයාගේ නියමයෙන් ආරම්භ කර ඇති බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.

ජාවාරම්කරුවන් හා ඔවුන්ගේ දේපළ සම්බන්ධයෙන් විමර්ශන කිරීමට පොලිස්පතිවරයා උපදෙස් මත විශේෂ ඒකකයක් ඉදිරියේ දී ඉදිකිරීමට බලා පොරොත්තු වන බවත් ජාවාරම්කරුවන් මෙම ධනයෙන් මිලදී ගත් නිවාස, ඉඩකම් , වාහන, ඇතුලු දේපළ රාජසන්තක කිරීමට මුදල් විශූද්ධීකරණ පනත යටතේ කටයුතු සිදුකරමින් පවතින බවත් හෙතෙම සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධකම් පැවැත් වූ පුද්ගලයන් රැසක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිව ඇති බවත් මොවුන් බොහොමයක් බන්ධනාගාරවල සිටින ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධකම් පවත්වමින් සමාජයෙන් නොයෙක් හොඳ මුහුණු වලින් පෙනී සිටින පුද්ගයන් බවත් හෙතෙම කීය.

ගම්වල චංඩීන් වශයෙන් පෙනී සිටිමින් පිහි ,කඩු, තියුණු ආයුධ පෙන්වා පුද්ගලයන් බිය ගන්වන සංවිධානාත්මක කල්ලි අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී ඇති බවත් තෙන්නකෝන් මහතා කියා සිටියේය.

පසුගිය සතිය තුළ එවැනි පුද්ගලයන් 80 දෙනෙක් පමණ අත්අඩංගුවට ගත් බවත් මොවුන් පිහි , මන්නා, කඩු ,ඇතුලු තියුණු ආයුධ පෙන්වා ගම්වල අනසක පතුරවමින් ඉඩම් ආරවුල්, ඇතුලු ආරවුල් වලට මැදිහත් වෙලා තියනවා කියලා තොරතුරු ලැබී ඇති බවද හෙතෙම කියා සිටියේය.

සංවිධානාත්මක අපරාධකරුවන්ට එරෙහිව සිදුකරන මෙහෙයුම් වලට අමතරව විදේශ රටවලට පලාගොස් සිටින සැකකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවත් දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවසීය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ බව ප්‍රකාශ කළේ පොලිස් මූලස්ථානයේ අද (03) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ය.

Comments are closed.