සංහිඳියාව කඩාකප්පල් කිරීම ගැන මෛත්‍රීට චෝදනා

යුද්ධයේ සිදුවූ අපරාධ පිළිබඳව යුක්ති ඉෂ්ඨ කොට සංහිඳියාව ඇති කිරීමේ ප්‍රතිපත්තියකට එකඟ වීමෙන් “ලෝකයේ ජනප්‍රියම නායකයකු බවට පත්වූ” හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින්ම පොහොට්ටු පක්ෂය හා එක්වී සංහිඳියා යාන්ත්‍රණය කඩකප්පල් කරන ලද බව එක්සත් ජාතීන් සමග ශ්‍රී ලංකාව පිළිබඳ ජිනීවා සම්මුතිය ඇති කර ගැනීමට පෙරමුණ ගත් යහපාලන රජයේ හිටපු විදේශ අමාත්‍යවරයකු චෝදනා කරයි.

ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් නගා සිටුවීම සඳහා විදේශීය විනිසුරුවරුන් ඇතුලත් අධිකරණයක් පිහිටුවීම ඇතුළු එකඟතා රැගත් ජිනීවා යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය විසින් සම්මත කරගන්නා ලද්දී 2015 ඔක්තෝබරයේ දීය.

එම යෝජනාවෙන් ගිවිස ගත් දෑ සම්බන්ධයෙන් කිසිත් නොදන්නා බවට හිටපු සිරිසේන ජනාධිපතිවරයා කරන ප්‍රකාශ අසත්‍ය ලෙසින් බැහැර කරන මංගල සමරවීර විදේශීය අධිකරණයකින් යුද අපරාධ චෝදනා විභාග කිරීම වැලැක්වීමට තමන්ද මැදිහත් වූ බව කියා සිටියේය.

“ඒ යෝජනාව අවසන් කරනකොට මම ජනාධිපතිතුමා එක්ක නිව්යෝක් නගරයේ එක්සත් ජාතීන්ගේ සැසිවාරයට සහභාගි වෙමින් හිටියේ. එදා රාත්‍රියේ කොළඹ අගමැතිතුමා එම යෝජනාවලිය ගැන මට එවන හැම වචනයක්ම මම එහා කාමරේ හිටපු ජනාධිපතිතුමාට පෙන්වලයි අනුමැතිය ගත්තේ.”

නොබෙල් සාම ත්‍යාගයට පවා නම් කිරීමට සිටි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන සංහිඳියා ක්‍රියාවලියට හරස් වන ආකාරයට කටයුතු කිරීමට “රාජපක්ෂවරුන් විසින් ගිලගන්නා” ලද බව හිටපු ඇමැතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත්, හිටපු ජනාධිපතිවරයාගේද ආශිර්වාදයෙන් බලයට පත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මානව හිමිකම් මණ්ඩලයට ගිය පළමු අවස්ථාවේම දැනුම් දී සිටියේ ජිනීවා යෝජනාව ක්‍රියාත්මක නොකරන බවයි.

පසුගිය රජය සංහිඳියාව ඇති කිරීමට යාන්ත්‍රණ කිහිපයක් ගොඩනැංවුවද යුද අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීමට දේශිය යාන්ත්‍රණයක් ඇති කිරීමට මත්තෙන් ආණ්ඩුව වෙනස් වු බවද මංගල සමරවීර සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් යුතු නව රජය යටතේ සංහිඳියාව ඇති කිරීමට පිහිටවු අතුරුදහන් වුවන් පිළිබඳ කාර්යාලයේ අනාගතය ගැන හිටපු අමාත්‍යවරයා සැක පළ කළේය.

“අපි හිතුවා ගෝඨාභය රාජපක්ෂ දැන්වත් වෙනස් වෙලා ඒ කාර්යාලය ඒ විදියට පවත්වාගෙන යන්න ඉඩ දෙයි කියලා නමුත් අපිට ආරංචි හැටියට ඒක පවත්වගෙන යන්න අවශ්‍ය මුදල පවා, දැන් වෙන් වෙච්ච මුදල්වත් මෙතෙක් ලබා දීලා නැහැයි කියලා.”

යුද්ධයේදී අපරාධ කළ සේනාවකට අණ දුන් බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයකු හමුදාපති ධුරයට පත් කිරීමට හිටපු ජනාධිපතිවරයා ගත් හිතුවක්කාර තීරණයට තමන් එරෙහි වු බව පවසන මංගල සමරවීර “ප්‍රතිපත්තියක් හැටියට ඒ කරගත්තේ බරපතල වරදක්,” යැයි කනගාටු විය.

දේශීය හා ජාත්‍යන්තර විරෝධය මධ්‍යයේ හමුදාපති ධුරයට පත් කරන ලද ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු පවුලේ සාමාජිකයන් රටට ඇතුළු වීම වළක්වමින් ඇමරිකා එක්සත් ජනපදය විසින් මේ පෙබරවාරියේ තහංචියක් පනවන ලදී.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ගිවිසගත් සංහිඳියා ක්‍රියාදාමය උතුරට පමණක් නොව දකුණටත් යහපතක් උදා කරනු ඇතැයි අවධාරණය කළ හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර එය අත්හිටුවීමට ඉඩ නොදෙන ලෙසට ආයාචනයක්ද කළේය.

Comments are closed.