උතුරේ දෙමළ පක්ෂ කාර්යාල වටලා හමුදා පොලිස් මෙහෙයුම්

කළු කොටි සැමරුමක් පවත්වන්නට සැරසෙන බවට අභූත චෝදනාවක් නගා ආරක්ෂක අංශ විසින් උතුරේ මැතිවරණ කාර්යාල වටලා සෝදිසි කිරීම බියගැන්වීමක් ලෙස දෙමළ දේශපාලන පක්ෂයක හෙලා දැකීමට ලක් වී තිබේ.

සන්නද්ධ හමුදා සහ පොලිස් භට කණ්ඩායම් විසින් ගෙවුණු සති අන්තයේ දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) මැතිවරණ ප්‍රචාරක කාර්යාල කිහිපයක්ම වටලා ඉන් සමහරක් සෝදිසි කර තිබුණි.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV) පවසන පරිදි මැතිවරණ ප්‍රචාරය සම්බන්ධයෙන් මැදිහත් වීමට යුද හමුදාවට කිසිදු නීතිමය බලයක් නැත.

වරෙන්තුවක් පවා නොමැතිව ආරක්ෂක අංශ විසින් ජූලි 5 දා සෝදිසි කිරීම තම පක්ෂයට සිදු කළ තර්ජනයක් මෙන්ම ඡන්ද ව්‍යාපාරය කඩාකප්පල් කිරීමක් බව එම පක්ෂයේ ජාතික සංවිධායක විශ්වලිංගම් මනිවන්නන් යාපනයේ මාධ්‍යවේදීන්ට පවසා තිබේ.

ඔහු පවසන පරිදි ඉරිදා දිනයේ එම පක්ෂයට අයත් යාපනය පුනාරි මඩම් පිහිටි මැතිවරණ ප්‍රචාරක කාර්යාලය අවට ප්‍රදේශයේ හමුදා සහ පොලිස් සාමාජිකයන් විශාල පිරිසකගෙන් සමන්විත කණ්ඩායමක් යොදවා තිබේ.

එමෙන්ම යාපනය තිරුනල්වේල් පලාලි විදියේ පිහිටි මැතිවරණ ප්‍රචාරක කාර්යාලයට ජුලි 05 ඉරිදා හවස 5 ට පමණ හමුදා සහ පොලීසියේ සාමාජිකයන් 20 ට වැඩි පිරිසක් ඇතුලු වී එම කාර්යාලය පරීක්ෂාවට ලක් කර තිබේ.

දෙමළ ජාතික ජනතා පෙරමුණේ ජාතික සංවිධායක නීතිඥ විශ්වලිංගම් වැඩි දුරටත් මාධ්‍ය වේදීන් සමග පවසා ඇත්තේ එම කාර්යාලය පරීක්ෂාවට ලක් කර ඇත්තේ සෝදිසි කිරීමේ වරෙන්තුවක් හෝ නොමැතිව බවයි.

TNPF නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් පවසන පරිදි ඔවුන්ගේ කොකුවිල් කාර්යාලයට පනහකට ආසන්න භට පිරිසක් සමග පැමිණි යාපනය පොලිස් ස්ථානාධිපති පවසා ඇත්තේ කළු කොටි සැමරුමකට සුදානම් වන බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවයි.

පොලිස් හා හමුදා වැටලීම අසත්‍ය තොරතුරු මත පදනම් වී කරන ලද්දක් බව පැවසීමෙන් අනතුරුව “ඉහලින් ලැබුණු අණ” නිසා පැමිණි බව පොලිස් ස්ථානාධිපති ප්‍රකාශ කළේ යැයි TNPF නායකයා සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර තිබේ.

එම කාර්යාල තුල තිබී සැකකටයුතු කිසිවක් සොයාගෙන නැත.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මාධ්‍යවේදීන් හා කියා ඇත්තේ ආරක්ෂක අංශ සාමාජිකයන් විසින් දෙමළ ජාතික ජනතා පෙරමුණේ යාපනයේ පිහිටි මැතිවරණ ප්‍රචාරක කාර්යාලයක් සෝදිසි කිරීම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම් සදහා තම සංවිධානයේ සාමාජිකයකු මේ වන විටත් එම ස්ථානය වෙත පිටත් කර යවා ඇති බවයි.

ඔහු විසින් සොයා ගනු ලබන ඇසින් දුටු සාක්ෂි අනුව ඒ සම්බන්ධයෙන් වැඩි යමක් ඉදිරියේදී ප්‍රකාශ කළ හැකි බව ඔහු සදහන් කර තිබේ.

කෙසේ නමුත් ඔහු අවධාරණය කරන්නේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය සතු මැතිවරණ කොමිෂන් සභාවට ඒ සම්බන්ධයෙන් වන මැදිහත්වීමක් සදහා පොලීසිය යෙදවීමේ බලය ඇති බවයි.

මැතිවරණ ප්‍රචාරක භුමිකාව තුළ යුද හමුදාවට කිසිදු ආකාරයකින් මැදිහත්වීමේ හැකියාවක් නොමැති බව ඔහු වැඩි දුරටත් අවධාරණය කර තිබේ.

හමුදාව යොදාගෙන TNPF කාර්යාල වැටලීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම මේතාක් කිසිදු ප්‍රකාශයක් කර නැත.

දෙමළ විමුක්ති කොටි සංවිධානයේ මුල්ම මරාගෙන මැරෙන ප්‍රහාරය දියත් කරමින් කැප්ටන් මිලර් නමින් ප්‍රකට වල්ලිපුරම් වසන්තන් මියගොස් ඇත්තේ 1987 ජුලි 5 දාය.

ඒ දිනය නිමිති කොටගත් කළුකොටි සමරුව පසුගිය ඉරිදාට යෙදී තිබූ හෙයින් උතුරේ ප්‍රදේශ ගණනාවකම රැකවල් තරකොට හදිසි සෝදිසි මෙහෙයුම් දියත් කර තිබේ.

කිලිනොච්චියේ කණ්ඩාවලෙයි, ධර්මපුරම් ඇතුළු ප්‍රදේශවල නිවාස 400 කට අධික ප්‍රමාණයක් කිහිපයක යුදහමුදාව, පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා කළ සෝදිසියෙන් එක් අයකු අත් අඩංගුවට ගන්නා ලද බව පොලිසිය පවසයි.

ප්‍රදේශයේ මාධ්‍යවේදීන් පවසන පරිදි අවි ආයුධ කිසිවක් හමුවී නැත.


119ක් අත්අඩංගුවට

මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසන පරිදි ජුලි 06 සදුදා වන විට මැතිවරණ නීති කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 119 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 92කි.

ඒ අතරින් පැමිණිලි 22 ක් අපරාධ ගණයට අයත් වන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩි දුරටත් සදහන් කරයි.

මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යෙදවීමේ චෝදනාව මත වාහන 31 ක් පොලිස් භාරයට ගෙන ඇත.

Comments are closed.