පාසල් සිසුන් ප්‍රවාහනය කරන වාහන කහ පැහැයෙන් වර්ණ ගැන්වීමට යයි

පාසැල් සිසුන් ප්‍රවාහනය කෙරෙන වාහන සඳහා කහ වර්ණය ආලේප කිරීම අනිවාර්ය කරන බව ප්‍රවාහන සේවා කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මෙසේ කිරීමෙන් පාසැල් සිසු දරුවන් ප්‍රවාහනය කෙරෙන වාහන සෙසු රියදුරන්ට පහසුවෙන් හඳුනාගත හැකි නිසා එම වාහනවලට ඉදිරියට ගමන් කිරීමට ප්‍රමුඛතාව හිමිවනු ඇතැයි ඇමතිවරයා සඳහන් කළේය.

ලෝකයේ සෑම රටකම පාසැල් සිසුන් ප්‍රවාහනය කෙරෙන වාහන සඳහා මාර්ගවල ප්‍රමුඛස්ථානය හිමිවන බව කී මහින්ද අමරවීර මහතා මෙරට එවැනි තත්ත්වයක් නොවීම නිසා දරුවන් ප්‍රවාහනය කරන රථ අසලින් ඇතැම් බර වාහන ධාවනය කිරීම නිසා ඇතැම් කුඩා දරුවන් බියපත් වනවා මෙන්ම හදිසි අනතුරුවලට පවා ලක් වන බව අමාත්‍යවරයා කීවේය.

එබැවින් පාසල් සිසුන් ප්‍රවාහනය කරන වාහන හඳුනාගැනීම පහසුවන පරිදි එම කහ වර්ණ ගැන්වීමටත්, ඉදිරියේ දී පාසල් සිසුන් ප්‍රවාහනයට ආනයනය කෙරෙන වාහන කහ වර්ණයෙන්ම පමණක් ආනයනය කිරීමටත් තීරණය කර ඇතැයි ඇමතිවරයා පැවසීය.

එමගින් මාර්ග තුළ විනය පවත්වාගෙන යාමට ද හැකිවනු ඇතැයි ද ඇමතිවරයා කීවේය.

Comments are closed.