තුනෙන් දෙක ඉල්ලන්නේ ජනතාවට සහන දීමට නොවේ : සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව

“කොරෝනා වෛරසය රට තුළ සිඝ්‍රයෙන් පැතිර යද්දී ඒ පිළිබඳ මායිම් නොකරමින්, ඡන්ද පසුපස දුවමින්, ගෝඨාභය ජනාධිපතිවරයාගේ ආණ්ඩුව තුනෙන් දෙකේ බලයක් ඉල්ලා සිටින්නේ මර්දනකාරී රාජ්‍යක් හදා ගැනීමට විනා වෙන කුමකටදැ” යි සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව ප්‍රශ්න කරයි.

තැපැල් ඡන්දය පැවැත්වෙද්දී කොටුව දුම්රියපොළ ඉදිරිපිට දියත් කෙරුණු විරෝධතා උද්ඝෝෂණයකදී මෙලෙස ප්‍රශ්න කළ මෙම එකමුතුව “ජිවන වියදම වැඩිවෙලා, නිදහස වෙනුවට මර්දනය දියත් කරළා, කොරෝනා වෛරසය රටපුරා පැතිර යමින් තිබෙනවා, ඩඩ්ලි සිරිසේන ඉදිරියේ දණ ගහලා හාල් මිල වැඩිකළා” යි ආණ්ඩුවට විරෝධය පළ කළේය.

මෙහිදී “කොරෝනා නිසා ජනතාව දුක් වින්දා, නමුත් ආණ්ඩුව ආයෙත් කියනවා කොරෝනා ඇවිල්ලා කියලා” යි ආණ්ඩුවේ කොරෝනා මර්දන වැඩ පිළිවෙලේ අසංවිධිත භාවය පිලිබඳව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ආණ්ඩුවට දැඩි විවේචනයක් එල්ල කළේය. හෙතෙම ජනාධිපතිවරයාගේ උපදේශකයන් අසත්‍ය පතුරුවා හැරීමේ හිට්ලර් ගේ නාසි ආණ්ඩුවේ ප්‍රචාරක අමාත්‍ය ගොබෙල්ස්ට සම කරමින් හෙලා දැකීය.


පසුගිය 14 දා දුම්රියපොළ ඉදිපිටදී සිවිල් හා වෘත්තීය සමිති පෙරමුණේ මෙම විරෝධතාව කොරෝනා මර්දන සෞඛ්‍ය උපදෙස් පරිදි දුරස්ව ඉන්නා උද්ඝෝෂකයන්ගෙන් යුතුව පැවැත්වුනු ආකාරය දැකගන්නට හැකිවිය. එයට සහභාගිවී සිටි ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති සමන් රත්නප්‍රිය එක්සත් ජාතික පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, “අපි දැක්කා වරායට දොඹකර ගෙනාවා, නමුත් ඒවා ගොඩබිමට බාගත්තේ ඉන්දියාවේ නියෝගය ලැබුනට පස්සේ. අයිඕසි ඉන්ධන මිල වැඩි කිරීමෙන් දවසට කෝටි දහයක ශුද්ධ ලාභයක් ඉන්දියාව ලැබුවා,” යි කරුණු ගෙනහැර දක්වමින් අවධාරණය කළේ ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණය මුළුමනින්ම අසාර්ථක බවයි. එනිසා හිට්ලර් මෙන් තුනෙන් දෙකක ආණ්ඩු බලයක් ඉල්ලන්නේ මේ කඩා වැටෙන ආර්ථිකය හමුවේ නැගී එන ජනතා සටන් මර්දනයට බවයි වෘත්තීය සමිති නායක සමන් රත්නප්‍රිය අනතුරු අඟවන්නේ.

මේ අතර සේවා ස්ථාන වල වසංගත ව්‍යාප්තිය වැලැක්වීම සම්බන්ධ වගකීම ජනාධිපති වරයා විසින් පවරා ඇත්තේ එම ආයතන වල බලධාරීන් වෙතය.

“කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාවේ වර්ධනයක් සිදුව ඇති වත්මන් වාතාවරණය හමුවේ වෛරසයේ ව්‍යාප්තිය පාලනය කරනු පිණිස රාජ්‍ය, පෞද්ගලික දෙ අංශයේ ආයතනවල සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම සහතික කිරීම ආයතන ප්‍රධානීන්ගේ වගකීමක්” බව ජනාධිපතිවරයා පැවසුවේ යැයි 20.07.14 දාතමින් ජනාධිපති මාධ්‍ය අංශ අධ්‍යක්ෂගේ නමින් නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.

Comments are closed.