හමුදා පාලනයක් කරා රට ගෙනයන බවට ජනාධිපතිට චෝදනා

නිදහස් අදහස් හා රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය මර්දනය සඳහා ජනාධිපතිවරයා හමුදා පාලන ක්‍රමයක් ස්ථාපිත කරමින් ඉන්නා බවට බිය පලවෙමින් පවතී.

අලුතින්ම පිහිටුවන ලද “සුරක්ෂිත රටක් විනය ගරුක, ගුණවත් සහ නීතිගරුක සමාජයක්” බිහි කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය සදහා පත් කළ සියලු සාමාජිකයන් ත්‍රිවිධ හමුදා නිලධාරීන් වීම භයානක තත්වයක් බවයි හිටපු සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසන්නේ.

“සමාජ කණ්ඩායම් වල සමාජ විරෝධී වැඩ සම්බන්ධයෙන් සොයා බැලීම” යනුවෙන් ජනාධිපතිවරයා විසින් කාර්ය සාධක බලකාය වෙත පවරා ඇති බලය ප්‍රකාශනයේ අයිතිය ඉලක්ක කරගත් බව අධිනීතිඥ වරයකුද වන හිටපු මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

සමාජ විරෝධී කණ්ඩායම් ලෙස ජනාධිපතිවරයා අර්ථ දක්වන්නේ කවුරුන්දැයි ගැසට් පත්‍රයේ අර්ථ නිරූපනය කර නොමැති වීමෙන් එය තහවුරු වන බව ඔහු පෙන්වා දෙයි.

“මේකෙන් ඉලක්ක කරන්නේ ඉස්සරලාම මාධ්‍ය, සිවිල් සමාජය, ඒ වගේම ආගමික නායකයන් සහ ප්‍රකාශන සමාගම්,” යැයි හිටපු මන්ත්‍රීවරයා සදහන් කළේය.

එබැවින් එය ඉතාමත් භයානක තත්වයක් බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අනතුරු ඇඟවූයේ සමගි ජන බලවේගය ජුනි 4 බ්‍රහස්පතින්දා කොළඹදී පැවැත්වු මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ජුනි 2 අගහරුවාදා මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ “සුරක්ෂිත රටක් විනය ගරුක, ගුණවත් සහ නීතිගරුක සමාජයක්” බිහි කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය පත් කොට තිබුනේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙනි.

“රටේ ඇතැම් ස්ථානවල වර්තමානයේ සමාජයේ නිදහස් හා සාමකාමී පැවැත්මට හානිකර ලෙස මතුවෙමින් පවතින නීතිය උල්ලංඝණය කරන සමාජ කණ්ඩායම්වල නීති විරෝධී ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමට අවශ්‍ය ක්ෂණික පියවර ගැනීම, මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම, වරාය හා ගුවන්තොටුපළ හරහා විදේශයන්ගෙන් මත්ද්‍රව්‍ය ඇතුළු වීම වැළැක්වීම සහ රට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම මුළුමනින්ම තුරන් කිරීම සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් සිදුවන වෙනත් සමාජීය රෝග වළක්වා ගැනීම, ශ්‍රී ලංකාවේ විදේශයන්හි සිට සිදුකරන නීති විරෝධී හා සමාජ විරෝධී ක්‍රියාවන්ට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීම හා බන්ධනාගාර හා ඒ අවට සිදුවන නීති විරෝධී හා සමාජ විරෝධී ක්‍රියාකාරකම් විමර්ශනය කිරීම හා වැළැක්වීම යන කාර්ය භාරයන් ඉටු කරගැනීම,” නව බලකායේ අරමුණ බව ගැසට් නිවේදනයේ දැක්වේ.

ජනාධිපති කාර්ය සාධක බලකාය සදහා පත් කළ සියළු දෙනා හමුදා නිලධාරීන් බැවින් රටේ කිර්තිමත් රාජ්‍ය සේවය කාර්ය සාධක බලකාය යටතට පත් කර ඇති බව පෙන්වා දෙන හිටපු මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ හමුදා නිලධාරීන් ලබා දෙන නියෝග රාජ්‍ය සේවයේ සිටින සියලු දෙනා ක්‍රියාත්මක කළ යුතු තත්වයක් මතුව ඇති බවයි.

“මේක අපේ ව්‍යවස්ථාවට පටහැනියි. මොකද රාජ්‍ය සේවය ස්වාධින ආයතනයක්. අපේ රටේ ව්‍යවස්ථාව හැටියට එය පාලනය වෙන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන්. දැන් මෙහෙම තියෙද්දී සියලු රාජ්‍ය සේවකයන් මේ කාර්ය සාධක මණ්ඩලයේ නියෝග ක්‍රියාත්මක කරන්න ඔන කියන එක අපේ රටේ ව්‍යවස්ථාවට පටහැනියි. ඒවගේම අපේ රටේ රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨත්වය අනුව අමාතාංශ ලේකම්වරයා ඉන්නේ ත්‍රිවිධ හමුදාපතිට වඩා ඉහළින් ” හිටපු මන්ත්‍රීවරයා වැඩි දුරටත් සදහන් කළේය.

මෙම කාර්ය සාධක බලකායට සන්නද්ධ හමුදා ප්‍රධානීන්, පොලිස් හා බුද්ධි අංශ ප්‍රධානීන්, ඇතුලු සමාජිකයන් 13 දෙනකුගෙන් සමන්විත වේ.

ඒ සැම දැනට සේවයේ නියුතු සහ විශ්‍රාමිකයන් ලෙස ඉහළ හමුදා හා පොලිස් තනතුරු හෙබවූවන් සහ හොබවන්නන්ය.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ශ්‍රී ලංකා යුද හමුදා අණදෙන නිලධාරි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අණදෙන නිලධාරී වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අණදෙන නිලධාරී එයාර් මාර්ෂල් සුමංගල ඩයස්, වැඩබලන පොලිස්පති සී. ඩි. වික්‍රමරත්න, රේගු අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) විජිත රවිප්‍රිය, ජාතික බුද්ධි සේවයේ ප්‍රධානී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස්, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සාලි, යුද හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් ඒ. එස්. හේවාවිතාරණ, නාවික බුද්ධි අංශයේ අධ්‍යක්ෂ කපිතාන් එස්.ජේ. කුමාර, ගුවන් හමුදා බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ එයාර් කොමදෝරු එම්.ඩී.ජේ. ටී. සී. ඒ. ධනපාල, විශේෂ කාර්ය සාධක බලකායේ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, නියෝජ්‍ය පොලිස්පති යන අයගෙන් මෙම කාර්ය සාධක බලකාය සම්න්විතව තිබේ.

Comments are closed.