පාරම්පරික දෙමළ ඉඩම් ඇල්ලීමට එරෙහිව විරෝධතා

දෙමළ ජනතාවගේ පාරම්පරික වාසභූමි හා ගොවිබිම් ආරක්ෂක හමුදා ඇතුළු රජයේ ආයතන කිහිපයක් විසින් අත්පත් කරගනිමින් සිටීමට එරෙහිව මුලතිව් නගරයේදී විරෝධතා පාගමනක් පවත්වා තිබේ.

කෝකිලායි ගම්වැසියන් විසින් 14 සිකුරාදා මුලතිව් අධිකරණය ඉදිරිපිටින් ආරම්භ කළ විරෝධතා පා ගමන මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දක්වා ගමන් ගත් බවයි උතුරේ වාර්තාකරුවන් පවසන්නේ.

තම පාරම්පරික භුමිය ආපසු ලබා ගැනීම සදහා මැදිහත්වන ලෙස ඉල්ලා සිටින සන්දේශයක් වැඩ බලන දිස්ත්‍රික් ලේකම් කේ. කනේෂ්වරන් වෙත බාර දෙමින් ගම්වැසියන් පෙන්වා දී ඇත්තේ සිය පාරම්පරික භුමිය පිටස්තරයන් විසින් අත්පත් කරගැනීම නිසා සිය ජීවනෝපායද අහිමිව ගොස් ඇති බවයි.

යුද්ධය හේතුවෙන් අවතැන් විමෙන් පසු නැවත තම මුල් ගම් බිම් වල පදිංචියට පැමිණියත් සිය කුඹුරු සහ කෘෂිකාර්මික ඉඩම් පිටස්තරයන් විසින් අත්පත්කරගෙන ඇති බව පෙන්වා දෙන කෝකිලායි ගම් වැසියන් රජයෙන් ඉල්ලා සිටින්නේ වහාම සිය ඉඩම් ආපසු ලබා දෙන ලෙසයි.

ඉල්මානයිට් කැණීමේ කටයුතු සදහා කෝකිලායි ගම් වැසියන්ට අයත් ඉඩම් අක්කර 50 ක පමණ ප්‍රමාණයක් ඛනිජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් සීමා මායිම් කරමින් සිටින බවට චෝදනා නගන ගම්වැසියන් පෙන්වා දෙන්නේ නාවික හමුදාව විසින් ද ගම් වැසියන්ට අයත් අක්කර පහක පමණ භුමියක නාවික හමුදා කදවුරුක් ගොඩ නගා ඇති බවයි.

නාවික හමුදා කඳවුර ඉදි කර තිබෙන ගම් වැසියන්ට අයත් භුමිය ආපසු ලබා දෙන ලෙස අවස්ථා කිහිපයකදීම ඉල්ලීම් කළත් මේ දක්වා එය සිදු නොවු අතර කදවුරු භුමියත් ඉල්මනයිට් කැණීමේ කටයුතු සදහා පවරා ගැනීමේ සුදානමක් පවතින බවට ගම් වැසියන් සැක පළ කරන බව උතුරේ වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

කෘෂිකාර්මික ඉඩම් අහිමි වීමෙන් සිය ජීවනෝපාය අහිමිව සිටින කෝකිලායි ගම්වැසියන්ගේ පාරම්පරික භුමියේ, දකුණින් පැමිණි ධීවරයන්ද නිවාස සහ අට්ටාල ඉදිකරගනිමින් අක්කර 50 ක පමණ භුමි භාගයක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින බව කෝකිලායි වැසියෝ පෙන්වා දෙති.

රජය සහ නාවික හමුදාව එක්ව තමන්ට එරෙහිව කටයුතු කරමින් සිටින බව චෝදනා නගන කෝකිලායි ගමැවැසියන් පෙන්වා දෙන්නේ පරම්පරා තුනකට වඩා වැඩි ඉතිහාසයකට උරුමකම් කියන සිය පාරම්පරික භුමිය අහිමිවීමෙන් තමන් මහත් දුෂ්කරතාවයකට පත්ව ඇති බවයි.

Comments are closed.