“එක රටක්, එක නීතියක්” ප්‍රශ්න කිරීමට ලක්වෙයි

ආණ්ඩුව පුන පුනා පවසන “එක රටක් එක නීතියක්” යන ප්‍රකාශයේ සැබෑ අර්ථය ජනතාවට පැහැදිලි කරන ලෙස පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂයෙන් ආණ්ඩුවට අභියෝගයක් එල්ල වී තිබේ.

එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට යටත්ව සියළු ජන වර්ග මේ රට තුළ ජීවත් වන පරිසරයක් යටතේ ආණ්ඩුවේ එම කියමන දේශපාලන සටන්පාඨයක් පමණක් බවයි සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය පවසන්නේ.

“එක රටක තමයි අපි ජීවත් වෙන්නේ. මේ රටේ තියෙන්නේ එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි,” යනුවෙන් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවසුවේ අගෝස්තු 25 අඟහරුවාදා එම පක්ෂය විසින් සංවිධානය කර තිබු මාධ්‍ය හමුවක් අමතමිනි.

“මේ රටේ සිවිල් නීතිය සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සියලු දෙනාටම පොදුයි. මේ රටේ අපරාධ නීතිය සිංහල, දෙමළ, මුස්ලිම් කාටත් පොදුයි. එතකොට මේ රටේ තියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මේ රටේ ඉන්න හැම පුරවැසියෙක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත් වෙනවා. එතකොට මේ රටේ තවම තියෙන්නේ එකම නීතියයි.”

නමුත් රටේ ජනවර්ග වලට ආවේනික වු එක් එක් නීතීන් අතීතයේ පටන් පවතින බව පෙන්වා දෙන රහුමාන් මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ එම නීති කිසිදු දිනක රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ රටේ ඒකීයභාවයට අභියෝගයක් වී නොමැති බවයි.

“උඩරට නීතිය තියනවා, තේසවලාමේ නීතිය තියනවා, මුස්ලිම් විවාහ නීතිය කියලා එකක් තියනවා. ඒ එක් එක් ජනවර්ගවලට ආවේනික වු යම් යම් නීති තිබෙනවා. ඒ නීති තුලින් කවදාවත් මේ රටේ ව්‍යවස්ථාවට අභියෝගයට ලක් වෙලාවත් නෑ. මේ රටේ ඒකීයභාවයට ඒ නීති අභියෝගයක් වෙලාවත් නෑ. ඒ නීති මේ රටේ ජනවර්ග අතර ගැටුම් ඇති කරන්න කවදාවත් අභියෝගයක් වෙලත් නෑ. මේ රටේ ත්‍රස්තවාදය ඇති වෙන්න ඒ නීති කවදාවත් බල පවත්වලත් නෑ. බලපාන්නෙත් නෑ ”

“එක රටක් එක නීතියක්” යන්නෙන් ආණ්ඩුව දිගින් දිගටම පවසන්නේ කුමක්දැයි ජනතාවට පැහැදිලි නොකර පහළ සමාජයේ දේශපාලන වාසි කතා මිනිසුන්ගේ හැගීම් වලට කතා කිරීමට ආණ්ඩුව ක්‍රියා කරන බවට මන්ත්‍රීවරයා එහිදී චෝදනා කළේය.

Leave A Reply

Your email address will not be published.