නිවෙස්වල ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය අද (09) සිට ආරම්භ කෙරේ.

සංකූලතා නොමැති කොවිඩ් ආසාදිතයින් නිවෙස්වල රඳවා ගනිමින් ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය අද (09) සිට ආරම්භ කෙරේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ මෙතෙක් නියමු ව්‍යාපෘතියක් ලෙස බස්නාහිර පළාතේ  පමණක් ක්‍රියාත්මක වූ එම ක්‍රමවේදය අද සිට දිවයින පුරා ක්‍රියාත්මක වන බවය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

වයස අවුරුදු 02 සිට වයස අවුරුදු 65 දක්වා රෝග ලක්ෂණ පෙන්නුම් කරන හෝ සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින් වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවෙස්වල සිට ප්‍රතිකාර කිරිමට නියමිතය.

දෛනිකව වාර්තාවන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළයාමත් සමග රෝහල් ධාරිතාව ඉක්මවායාම හේතුවෙන් එම තීරණයට එළඹ තිබේ.

පීසීආර් හෝ ඇන්ටිජන් පරීක්ෂාවකින් පසු කොවිඩ් ආසාදිත බවට තහවුරු වන රෝගීන් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව නිවසේ සිට ප්‍රතිකාර කළ යුතු බවට නිර්දේශ කළ යුතුය.

අනතුරුව අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ආසාදිතයා නිවසේ සිට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කෙරෙන අතර දුරකථන මාර්ග ඔස්සේ සිදුකරන ලියාපදිංචි කිරීමෙන් අනතුරුව වෛද්‍ය අධීක්ෂණය යටතට රෝගීයා ලක්කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

පැය 24 පුරා ක්‍රියාත්මක 1390 දුරක‍්ථන අංකය හරහා අදාළ කටයුතු සම්බන්ධීකරණය කරනු ඇත.