ගෝඨාභය ෆේල් නැවත මහින්දට බලය දෙන්න – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්මෙන් මේ රට ගොඩගනිවී යැයි සිතුවද මේ වන විට 200%කින් ජනතාව ආණ්ඩුව ගැන කලකිරීමෙන් පසුවන අතර යළි මේ රට ගොඩ නැගීම සඳහා රට භාරගන්නා ලෙස මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව රට රකින ජන හඬ සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පැවසූහ.
ඒ, අද (20) නාරාහේන්පිට අභයාරාමයේදී පැවති මාධ්‍ය හමුවේදීය.
තවදුරටත් රටේ ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළද අත්දැකීම් බහුල කෙනෙක් ලෙස මේ පවතින තත්ත්වයෙන් රට ගොඩගැනීමට නම් මහින්ද රාජපක්ෂ මහතා යළි රට භාර ගත යුතුව ඇති බවයි උන්වහන්සේ කියා සිටියේ.
රට ගොඩගත හැක්කේ මහින්ද රාජපක්ෂ මහතාට පමණක් බව උන්වහන්සේ අවධාරණය කළහ.
මේ වන විට රට හැම තැනම ගොවිතැන් පාඩු වී තිබෙන අතර දූරදර්ශීව නොබලා කේවට්ට උපදෙස් ගෙන පොහොර නතර කිරීමේ විපත් පෙනෙන්න ඇති බවයි උන්වහන්සේ පෙන්වාදුන්නේ.
”මහින්ද මහත්තයෝ තවදුරටත් රාජපක්ෂලා මේ රටේ බලය හොබවන්න අවශ්‍යි කියල හිතනවානම් දවසින් දවස පරිහානියට යන රට ආරක්ෂා කරගන්න දැන්වත් මැදිහත්වෙන්න. ඔබතුමාටයි 69 ලක්ෂයක් ජන්ද ලැබුණේ. ඔය කයිවාරු කාරයින්ට නෙවෙයි. එදා ගෝඨාභය මහත්තය බලයට අපු වෙලාවේ අපේ තරුණයෝ තාප්පයක් ඉතිරි කලේ නැහැ ලස්සනට පින්තුර සටහන් කළා. දැන් ඒ පින්තූරවල තීන්ත පාරවල් දෙකක් ගාන්න ඒ තරුණයෝ එන්නේ නැහැ. ඔක්කොම කලකිරිලා. මේක නිකන් ඇති වුන කලකිරීමක් නෙවෙයි. ඒ නිසා තව ප්‍රමාද නැහැ. ජන්දයක් එන්න කලින් මේ රට භාර ගන්න.ගෝඨාභය රාජපක්ෂ මහත්තය විරුද්ධ වෙන එකක් නැහැ. එහෙම විරුද්ධ වුණොත් එය ඔහු රටට කරන හානියක් කියන එකයි මම හිතන්නේ. කොහොම හරි කමක් නැහැ මහින්ද මහත්තයෝ මේ රට භාර ගන්න. පංච මහා බලවේගයම කිපිලා පාරට බහින්න ඉස්සෙල්ල අපි කරන එකම ඉල්ලීම තමයි හදා ගත්ත ගෙයි අඩුපාඩු හදාගමු. නැත්නම් වෙනදෙයක් බලාගෙන ඉමු. රට ගොඩගන්න පුළුවන් මහින්ද රාජපක්ෂ මහත්තයට විතරයි. අපි ඔබතුමාගේ දෑත් ශක්තිමත් කරන්න ඉන්නවා. මේ බෝල් හඬවලින් වැඩක් නැහැ.” යනුවෙන් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.