කාන්තාවක් අපහසුතාවට පත්කළ පොලිස් පරික්ෂකවරයාට එරෙහිව පරීක්ෂණයක්

සැකකාර කාන්තාවක් අත්අඩංගුවට ගැනීම සහ ඇය අපහසුතාවට පත් වන ආකාරයට කටයුතු කිරීම සම්බන්ධයෙන් බණ්ඩාරවෙල මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයාට එරෙහිව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

පොලිස්පතිවරයාගේ නියෝග මත පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසය මඟින් අදාළ පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

පොලිස්පතිවරයාගේ නියෝග පරිදි අදාළ පරීක්ෂණය ආරම්භ කර ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

ළමුන් හා කාන්තාවන් සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් එම පරීක්ෂණය ආරම්භ කර තිබේ.

අදාළ බිළිදාගේ මව පොලීසිය මඟින් අත්අඩංගුවට ගැනීම, සැකකාරියගෙන් ප්‍රශ්න කිරීම මෙන්ම විමර්ශනයේ තොරතුරු පිළිබඳව සැළකිලිමත් වීමකින් තොරව එම කාන්තාව අපහසුතාවට පත්වන ආකාරයට කටයුතු කිරීම සම්බන්ධයෙන් ද එම පරික්ෂණය පැවැත්වීමට නියමිතය.

ඊයේ (11) බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් අදාල සැකකාර තරුණිය තම කාමරයට කැඳවා ප්‍රශ්න කර ඇත. එම අවස්ථාවේ පොලිස් නිලධාරිනියන් තිදෙනකු ද එහි සිට ඇති අතර කිසියම් පුද්ගලයකු ප්‍රශ්න කරන ආකාරය වීඩියෝ කර මාධ්‍යයට මුදාහැර තිබේ. එම වීඩියෝ කිරීම සිදුවන්නේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ සහ එහි සිටින නිලධාරිනියන්ගේ දැනුම්වත්වීමෙන් යැයි දර්ශන අනුව පැහැදිළි වේ.

කාන්තාවන් සහ ළමයින් සම්බන්ධ විමර්ශන කිරීමේ දී ඔවුන්ගේ අනන්‍යතාව ආරක්ෂා කිරීමත් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත් පිළිබඳ දැඩිව සැළකිලිමත් වන ලෙස පොලිස්පතිවරයා විසින් මීට මාස තුනකට පමණ පෙර විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබිය දී ඔවුන් මෙලෙස කටයුතු කර තිබේ.

එමෙන්ම ලිංගික සේවා සපයන කාන්තාවන්, සම්බාහන ආයතන වැටලීම්වල දී මාධ්‍යවේදීන් සහභාගී කර නොගන්නා ලෙසත් එම මෙහෙයුම් පටිගත නොකරන ලෙසත් උපදෙස් දී තිබේ. තව ද සංක්‍රාන්ති ලිංගිකයන් සහ සමරිසි පුද්ගලයන් සම්බන්ධයෙන් ද කටයුතු කිරීමේ දී ඔවුන්ගේ අනන්‍යතාව දැඩිව ආරක්ෂා කරන ලෙස ද පොලිස්පතිවරයා නිකුත්කළ විශේෂ චක්‍රලේඛයේ දක්වා ඇත.

එලෙස උපදෙස් දී තිබිය දී මේ ආකාරයෙන් අදාල තරුණිය මාධ්‍යයට අනාවරණය කිරීම, මාධ්‍ය ඉදිරියේ හිංසාකාරී ලෙස ප්‍රශ්න කිරීම වරදක් බව පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් පවසයි.