මැඩගස්කරයේදී අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අලුයම දිවයිනට

මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන නදුන් චින්තක නොහොත් හරක් කටා

සහ සලිඳු මල්ෂික නොහොත් කුඩු සලිඳු අද (14) අලුයම දිවයිනට රැගෙන ඒමට නියමිතව ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

සැකකරුවන් දෙදෙනා රැගෙන ඒම සඳහා පොලිස් නිළධාරීන් සිව්දෙනෙකු පසුගියදා කටුනායක ගුවන් තොටුපළෙන් මැඩගස්කරය බලා පිටත්ව ගොස් තිබේ.

එලෙස දිවයිනෙන් පිටත්ව ගොස් ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දෙදෙනෙකි.

මෙම සැකකරුවන් දිවයිනට රැගෙන ඒමේදී මැඩගස්කරයේ ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකු ද පැමිණීමට නියමිතය.

අත්අඩංගුවට ගනු ලැබූ හරක් කටා සහ කුඩු සලිඳු ඇතුළු පිරිස මේ වන විට මැඩගස්කරයේ සිට ඉන්දියාව බලා රැගෙන විත් ඇති අතර ඔවුන් එහි සිට මෙරටට රැගෙන ඒමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කර සිටියේය.

සැකකරුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු මැඩගස්කරයේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍යයක් පසුගිය 07 වනදා පළමුව වාර්තා කර තිබිණ.

එම පුද්ගලයින් 8 දෙනා මැඩගස්කරයේ ඉවාටෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ඉකුත් 01 වනදා අත්අඩංගුවට ගෙන ඇති බව ඉන් අනතුරුව ශ්‍රී ලංකා පොලීසිය ද එය තහවුරු කළේය.

අත්අඩංගුවට ගත් පිරිස අතර හරක් කටාගේ බිරිඳ යැයි පැවසෙන මැලේසියානු ජාතික කාන්තාවක් ද සිටින බව විදෙස් මාධ්‍යයේ වාර්තා කර තිබිණ. එම වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ ඇය සන්තකයේ තිබී එරට මුදලින් මිලියන 38 කට අධික මුදලක් බලධාරීන් විසින් සොයාගෙන ඇති බවයි.