රාජපක්ෂ ආණ්ඩුවේම දිගුවක් වූ ආණ්ඩුව සමග කිසිම ගනුදෙනුවක් නෑ! – සජිත් ප්‍රේමදාස

මොනම කොන්දේසියක් මතවත් දුර්දාන්ත රාජපක්ෂ ආණ්ඩුවේම දිගුවක්වන වරතමාන ආණ්ඩුව සමග එකතු නොවන බවත්, වරදාන වරප්‍රසාදවලට ගිජු වී සමගි ජන බලවේගය ආණ්ඩුව සමග එකතුවන බවට ප්‍රචාරය වෙමින් ඇති ප්‍රවෘත්ති පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පැවති ආණ්ඩුවටත් වඩා බිහිසුණු අගාධයකට මෙම ආණ්ඩුව රට තල්ලු කරමින් සිටින බව අනතුරු අඟවන විපක්ෂ නායකවරයා වැඩි කල් නොගොස් මේ අසාර්ථක ආණ්ඩුවේ නිරුවත හෙළිවනු ඇති බව පවසයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් නිකුත් කළ විශේෂ නිවේදනය පහත දැක්වේ.

සමගි ජන බලවේගය සහ අප මැති ඇමති තනතුරු බෙදා ගැනීම් වැනි වරදාන වරප්‍රසාද මුල් කරගනිමින් ආණ්ඩුව සමග එක්වීමට සූදානම් වන බවට නවතම ප්‍රවෘත්තියක් ආණ්ඩුවට හිතැති කණ්ඩායම් විසින් නිර්මාණයකොට සමාජගත කර තිබේ.

මේ ව්‍යාජ, ප්‍රවෘත්තිය අප සහමුලින්ම ප්‍රතික්ෂේප කරන අතර අදාළ ව්‍යාජ ප්‍රවෘත්තියටම හිමි පිළිකුලෙන් යුතුව එය හෙළා දකිමු.

පැවති දුර්දාන්ත රාජපක්ෂ ආණ්ඩුවේම දිගුවක් වන වර්තමාන ආණ්ඩුව, පැවති ආණ්ඩුවටත් වඩා බිහිසුණු අගාධයකට අපේ රට තල්ලු කරමින් සිටින බවට අප මුල සිටම අනතුරු අඟවන අතර වැඩිකල් නොගොස් මේ ආණ්ඩුවේ අසාර්ථක වැඩපිළිවෙළෙහි නිරුවත හෙළිවනු නොඅනුමානය.

පොහොට්ටුවේ සෙවනැලි ආණ්ඩුවක් බවට පත්වෙමින් සිටින ආණ්ඩුව මුල සිටම සිදු කරමින් සිටියේ සමගි ජන බලවේගය පිළිබඳව ව්‍යාජ පුවත් ජනගත කරමින් සිය අසාර්ථක බලන්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීමය.ලුම්පත් ධනවාදී කල්ලිවලත්,ප්‍රතිගාමී බලවේගවලත් එකම අභියෝගය සමගි ජන බලවේගය වන අතර සමගි ජනබලවේගයට හානි කිරීම වෙනුවෙන් ඕනෑම මිලක් ගෙවීමට එම කල්ලි දෙවරක් සිතන්නේ නැත.

සමගි ජන බලවේගයෙන් කණ්ඩායමක් ආණ්ඩුවට එක්වන බවට මුලින් දිගින් දිගටම ව්‍යාජ ප්‍රවෘත්ති පළ කළ ඒ කල්ලි සිය නවතම උපාය මාර්ගය ලෙස භාවිතා කරන්නේ අගමැති මැති ඇමති තනතුරු වෙනුවෙන් සමගි ජන බලවේගය ආණ්ඩුව හා එක්වන බව ය. එය අමූලික බොරුවකි.පදනම් විරහිත මෘග්ධ ප්‍රවෘත්තියකි.

එම කල්ලිවලත් සමගි ජන බලවේගයේත් තීරණාත්මක බෙදුම් රේඛාව වන්නේ ඔවුන් විස්වාස කරන්නේ ඩීල් සහ විකෘතිය වනවිට අප විශ්වාස කරන්නේ ජනතා බලය සහ ප්‍රකෘතිය වීමයි.මැතිවරණයකින් මෙපිට මේ අභාග්‍යසම්පන්න ඉරණමෙන් අපේ රට මුදවා ගත නොහැකි බව අප තරයේ විශ්වාස කරමු.දිගින් දිගටම අසාර්ථක ප්‍රයත්නයන්ම දරමින් මාධ්‍ය අවභාවිතා කිරීමෙහි තරම මොනවට පසක් කළ ඇතැම් කුලීකාර මාධ්‍ය කිහිපයට අවධාරණය කළ යුත්තේ මෙරට ක්‍රියාත්මක ශිෂ්ටසම්පන්න මාධ්‍යයන්ගෙන් පාඩම් ඉගෙන ගන්නා ලෙසයි.

තමන්ට ගෙවනු ලබන මිල වෙනුවෙන් ඕනෑම මිත්‍යාවක් සමාජගත කිරීම වෙනුවට ප්‍රඥාවන්තව සහ ආචාර විද්‍යාත්මක ලෙස මාධ්‍ය භාවිතයේ යෙදෙන්නේනම් මැනවැයි අපි යෝජනා කරමු.

නමුත්,සිය ස්වාමියාගේ මතය ජනගත කිරීම වෙනුවෙන් ඔවුන් විසින් ගනු ලබන උත්සාහයට අප අනුකම්පා කරමු. මිනිස්සුන්ට සත්‍ය වෙනස් කළ නොහැකි මුත්,සත්‍යයට මිනිසුන් වෙනස් කළ හැකි බව පමණක් අවධාරණය කරමු.

මේ ගෙවී යමින් තිබෙන සෑම තත්පරයක්ම අපේ රටේ අහිංසක අසරණ ජනතාවගේ ජීවිත ඉරණම පිළිබඳව තීරණාත්මක බව අප ආණ්ඩුවට අවධාරණය කරන අතර,ඒ ජනතාවගේ ජීවිත සුඛිත මුදිත කිරීම වෙනුවෙන් කාලය වෙන් කරනවා වෙනුවට ඩීල්,කුමන්ත්‍රණ,සහ බිලිබෝයි දේශපාලනයක යෙදීම පිළිබඳව අපගේ බලවත් අප්‍රසාදය සහ පිළිකුල මේ අන්තනෝමතික දුර්දාන්ත ආණ්ඩුවට පළකර සිටිමු.