ඔක්සිජන් සිලින්ඩර 80ක් සොරකම් කළ රෝහල් සේවකයා අත්අඩංගුවට

පොළොන්නරුව මහ රෝහලේ, පිරවු හා හිස් ඔක්ස්සිජන් සිලින්ඩර් අසූවක් සොරකම් කර පිට පළාත්වලට විකුණු එම රෝහලේ ඔක්ස්සිජන් සැපයුම් අංශයේ සෞඛ්‍ය කාර්ය සහායකයා ඇතුළු හයදෙනකු, ලොරි රථයක් සමග අද (06) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

ප්‍රධාන සැකකරුවා පොලොන්නරුව පලුගස්දමන ප්‍රදේශයේ පදිංචි, 43 වියති අයෙකු වන අතර සෙසු සැකකරුවන් හෙයියන්තුඩුව සහ රාජගිරි‍ය ප්‍රදේශයේ පදිංචි, ඔක්ස්සිජන් සිලින්ඩර් දිවයිනේ විවිධ ප්‍රදේශවල රෝහල්වලට සැපයුම් කරන පුද්ගලික ආයතනයක සේවකයින් බව පොලොන්නරුව කොට්ඨාස විමර්ශන අංශයේ ස්ථානාධිපති පැවසීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

පොළොන්නරුව මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන කටයුතු සිදු කිරීමෙන් අනතුරුව පොළොන්නරුව මහ රෝහලේ ඔක්සිජන් සැපයුම් අංශයේ සෞඛ්‍ය කාර්යය සහායකයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු මෙම ජාවාරම හෙළි වී ඇති බවත් , පොළොන්නරුව මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කරන පැමිණිල්ලට අනුව 2020 මාර්තු මාසයේ සිට මේ දක්වා, රෝහලේ ඔක්සිජන් සිලින්ඩර් 208 ක් අතුරුදන් වී ඇතැයි පරීක්ෂණ ආරම්භ කර ඇති පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

ඔක්සිජන් සිලින්ඩර 80ක් සොරකම් කිරිම සම්බන්ධව මෙම රෝහල් සේවකයා අත්අංගුවට ගන්නේ එම පරික්ෂණයට අදාලවය.

පොළොන්නරුව මහ රෝහලේ ඔක්සිජන් සැපයුම් අංශයේ සෞඛ්‍ය කාර්ය සහයකයා එක් ඔක්සිජන් සිලින්ඩරයක් රුපියල් 30,000 ටත් 40,000 කටත් අතර මිලකට ඔක්සිජන් සැපයුම්කරුවන්ට අලෙවි කර ඇත.