කැනඩා වීසා පෙන්වා කෝටි 60ක පොලු තැබූ සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ්

කැනඩාවේ ක්ලිම්ප් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන අවස්ථා ලබා දෙන බව පවසමින් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන්

කොළඹ වංචා විමර්ශන කොට්ඨාසය විසින් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය ලබන ජුනි මස 05 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (24) නියෝග කළේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

සැකකරුවන් දෙදෙනාගේ විදේශ ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරයා ඒ බව ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත දන්වා යවන ලෙසට නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ නුගේගොඩ පදිංචි නිශාමුදීන් මොහොමඩ් මොහිදීන් මිස්තර් යන අය සහ කඩුවෙල හොරණතොට පදිංචි කුලතුංග කංකානම්ලාගේ තුෂාරිකා නෙරංජලී යන අයවළුන් වේ.

සැකකාර කාන්තාව සහ පුද්ගලයා මෙම මුදල් ලබාගෙන ඇති බවට වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු විශාල පිරිසකගෙන් ලැබුණු පැමිණිලි අනුව සිදු කළ විමර්ශන අනාවරණය කළ බව සැකකරුවන් ඉදිරිපත් කරමින් වංචා විමර්ශන කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේය.

වංචා විමර්ශන කොට්ඨාසයට ලැබුණු පැමිණිලි හතකට අදාළව බී වාර්තා අධිකරණයට ගොනු කළ අතර, කොටුව පොලිසියේ පැමිණිලි 19ක් ලැබී ඇති බවත් රත්නපුර ඇතුළු ප්‍රදේශ ගණනාවකින් පැමිණිලි 500ට අධික ප්‍රමාණයක් ලැබී ඇති බවටත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

නුගේගොඩ පදිංචි සැකකාර කාන්තාව සහ කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ කාර්යාලයක් පවත්වාගෙන යමින් සමාජ මාධ්‍ය දැන්වීම් පළ කරමින් මෙම මුදල් වංචා කර ඇති බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.