වසර 07කට පසු පියාගේ ඝාතකයාට වෙඩි තබා මරා පොලිසියට භාර වෙලා! දැන් ඔහුට වයස 19 යි…

සිය දෙනෙත් ඉදිරියේ පියා වෙඩි තබා ඝාතනය කරනු දුටු 12 හැවිරිදි දරුවෙක් ඉන් වසර 07කට පසු පියාට වෙඩි තැබූ ඝාතකයාට වෙඩි තබා ඝාතනය කර තුවක්තුවත් සමග පොලිසියට භාර වීමේ සිද්ධියක් හම්බන්තොටින් වාර්තා වේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය;

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

හම්බන්තොට සූචී ගම්මානය පාරේදී පසුගිය 21 වන දින පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කළේය. ඝාතනය සිදුවන්නේ එදින රාත්‍රී 9.50ට පමණය. වෙඩි කා මිය ගියේ හම්බන්තොට පදිංචි කොඩිතුවක්කුගේ සාගර නැමති 35 හැවිරිදි එක් දරු පියෙකි.

ඔහු මිනි මැරුම් දෙකක් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ලව සිටි අයෙක් බව පොලිසිය කීවේය. මියගිය පුද්ගලයා සිය බිරිය හා වයස අවුරුදු 4ක දරුවා සමග හම්බන්තොට සුචි ගම්මානයේ පිහිටි පල්ලිය පාරේ දී වෙඩි ප්‍රහාරයට ලක්වන්නේ මාර්ගය හරහා ඇති මාර්ග බාධක ගැටිත්තක් මතින් යෑම සඳහා යතුරු පැදියේ වේගය අඩු කරන අවස්ථාවේදීය. වෙඩි තැබීම සිදුකර ඝාතකයා පලාගොස් තිබුණි. පොලිසිය මිනීමරුවා සෙවීමේ මෙහෙයුමක් දියත් කර තිබණි.

මේ අතර පසුගිය 29 දා 19 හැවිරිදි තරුණයෙක් මෙරට නිශ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියද රැගෙන හම්බන්තොට පොලිසියට පැමිණියේය. ඔහුගේ ගම බඳගිරියය. නම මනම්පේරිගේ චමොද් නිම්සරය. මේ ගැටවරයා පොලිසියට පැමිණ කීවේ පසුගිය 21 දා රාත්‍රියේ සාගර කොඩිතුවක්කුව ඝාතනය කළේ තමන් බවය.

හම්බන්තොට පොලිසිය සැකකරු අත් අඩංගුවට ගත්තේය. අනතුරුව සැකකරුගේ ප්‍රකාශ සටහන් කරගැනීම ආරම්භ කළේය. දීර්ඝ ප්‍රකාශය අතර තරුණයා පොලිසියට කීවේ තිගැස්සෙන කතාවකි.

“සර්.. ඒ 2016 අවුරුද්ද… මට අවුරුදු 12යි. මමයි තාත්තයා දෙන්න හරක් ගාලට යන ගමන් හිටියෙ. එදා මේ කාලකණ්ණි මනුස්සයා මගේ ඇස් දෙක ඉස්සරහා මගේ තාත්තාට වෙඩි තියලා මැරුවා. “

“ අවුරුදු 12 මම මොනවා කරන්නද . මම හිතුවා කවද හරි මේ කරපු අපරාදෙට පළිය ගන්නවා කියලා. අවුරුදු 07කට පස්සේ මට ඒ අවස්ථාව ලැබුණා. මම මගේ තාත්තා මගේ ඉස්සරහ මරපු ඌට වෙඩි තියලා මැරුවා.”

ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව හම්බන්තොට පොලිසිය ඊයේ (30) සවස 19 හැවිරිදි සැකකාර තරුණයා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.

සැකකරු ජුනි මස 07 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඕෂධ මිගාර මහආරච්චි මහතා ඊයේ (30) සවස නියෝග කළේය.