බුද්ධි අංශ ප්‍රධානියාගෙන් පාස්කු ප්‍රහාරයට පෙර මෛත්‍රීට ඇමතුම් 3ක්

ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පැජට් පාරේ පිහිටි නිල නිවසේ දුරකතන ක්‍රියාකරවන්නන් ලෙස කටයුතු කළ ගුවන් හමුදා නිලධාරින් දෙදෙනෙකු කැඳවා තිබුණා.

එහිදි ජනාධිපති කොමිසම හමුවේ පළමුව සාක්ෂිදෙමින් බලපන්ති සැරයන් අනුර නිශාන්ත මහතා කියා සිටියේ ඉකුත් වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල විමට පෙර එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා තෙවරක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධ කරදෙන ලෙස ඉල්ලා සිටි බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අනුව තමන් ඒ වන විට සිංගප්පුරුවේ රැදි සිටි හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධාන පෞද්ගලික ආරක්ෂක නිලධාරියා සම​ඟ එම ඇමතුම් සම්බන්ධ කළ අතර එකී ඇමතුම් වල කාලය පෙ.ව 7.58 ට තත්ත්පර 50 ක් ලෙසද, පෙ.ව 07.59 ට තත්ත්පර 158 ක් ලෙසද, පෙ.ව 8.01 ට තත්ත්පර 93 ක් ලෙසද සදහන්ව ඇති බව දුරකතන වාර්තා ඔස්සේ සාක්ෂිකරු පෙන්වා දුන්නා.

මෙහිදි අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නියෝජනය කරමින් ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා විමසා සිටියේ ඉකුත් වසරේ පාස්කු ප්‍රහාරය එල්ල වු දින සිංගප්පුරුවේ රැදි සිටි හිටපු ජනාධිපතිවරයා දුරකතනයෙන් සම්බන්ධ කරගැනීමට යම් අපහසුතාවයක් පැවතියේද යන්නයි.

එයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු ස​ඳහන් කළේ අපහසුතාවයක් පැවතියේ නැතැයි සදහන් කළ නොහැකි බවයි.

එම ප්‍රකාශයත් සම​ඟ ජනාධිපති කොමිසමේ සභාපති අභියාචනාධිකරණය විනිසුරුවරයා විමසා සිටියේ ඔබට ඔබට අද දින සාක්ෂි ලබාදීමට පැමිණිමේදි හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් කිසියම් බලපෑමක් සිදුවුයේද යන්නයි.

කෙසේ වෙතත් සභාපති විනිසුරුවරයාගේ එම ප්‍රශ්නයට් සාක්ෂිකරු නැහැ ස්වාමිනි යැයි පිළිතුරු දුන්නා.

ඉන් අනතුරුව දුරකතන ක්‍රියා කරවන්න්නෙකු ලෙස කටයුතු කළ අනෙක් තැනැත්තා වන චන්දන කුමාරසිරි මහතාද ජනාධිපති කොමිසම වෙත සාක්ෂි විමසීම සදහා කැදවනු ලැබුවා.

එහිදි ජනාධිපති කොමිසමේ සභාපති අභියාචනාධිකරණය විනිසුරුවරයා ප්‍රශ්න කර සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රාජ්‍ය බුද්ධි සේවයෙව් හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා දෛනිකව දුරකතනයෙන් සම්බන්ධවීමක් ඔබේ සේවා කාලය තුළ දකින්නට ලැබුනේද යන්නයි.

බොහෝ දුරට පිළිගන්නවා යැයි සක්ෂිකරු පිළිතුරු දුන්නා.

ඔබ මෙම කොමිසම් සභාවේ පොලිස් ​ඒකකයට ලබා දී ඇති ප්‍රකාශය තුළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන සමය වන විට දිනකට දෙතුන්වරක් දුරකතනයෙන් සම්බන්ධ වන බවත්, එම සම්බන්ධවීම උදෑසන කාලයේ පෙරවරු 7ට පමණත්, රාත්‍රී කාලයේ පස්වරු 8ත් – 10 ත් අතර සිදුවන බවත් ඔබ ස​ඳහන් කර ඇති අතර ඔබ දැන් එය පිළිගන්නවාදැයි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා පෙරළා යෝජනා කළා.

ඔව් ස්වාමිනි මා විසින් සිදුකර ඇති එම ප්‍රකාශය නිවැරදි බව මා පිළිගන්නවා යැයි සාක්ෂිකරු එයට පිළිතුරු දුන්නා.