අවුරුදු 3කට පසු ශානි නිදහස්

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් 2020 මහ මැතිවරණයට දින කිහිපයක් තිබියදී අත්අඩංගුවට ගෙන මාස 10කට අධික කාලයක් රිමාන්ඩ් බාරයේ සිට ඇප පිට සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ඇතුළු එම නඩුවේ සියලු සැකකරුවන් නිදහස් කිරීමට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් සිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද නියෝග කළාය.

ත්‍රිපුද්ගල මහාධිකරණයක් විසින් මරණ දඬුවම නියමව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ සිද්ධියට අදාල නඩුවේ ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය ආදේශ කර ව්‍යාජ නඩුවක් නිර්මාණය කරන ලැදැයි චෝදනා කරමින් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් 2020 වසරේ ජූලි මස 31 වැනිදා උදෑසන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අත්අඩංගුවටගනු ලැබීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඉන් අනතුරුව උප පොලිස් පරීක්ෂක මෝහන මෙන්ඩිස් සහ උප පොලිස් පරීක්ෂක නවරත්න ප්‍රේමතිලක නම් නිලධාරීන් දෙදෙනා ද අත්අඩංගුවට ගනු ලැබූහ. විදේශගතව සිටින හිටපු උප පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාද මෙම නඩුවේ සැකකරුවකු ලෙස නම් කර තිබිණි. මෙන්ඩිස් මහතා අත්අඩංගුවට ගැනීමෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාසය ශානි අබේසේකර මහතාට එරෙහිව සාක්කි ලබා දෙන ලෙසට ඔහුට බලපෑම් කර තිබිණි.

මෙම නඩුවට අදාලව ශානි අබේසේකර මහතා මාස 10කුත් දින 18ක් ද, මෙන්ඩිස් මහතා මාස 10කුත් දින 18ක් ද, ප්‍රේමතිලක මහතා මාස 09කුත් දින 19ක් ද රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටියහ.

මෙම නඩුව අද උදෑසන 9.55ට පමණ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් සිලනි චතුරන්ති පෙරේරා මහත්මිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාසය වෙනුවෙන් පොලිස් පරීක්ෂක ජගත් නිෂාන්ත මහතා පෙනී සිටිමින් මෙම නඩුවේ සැකකරුවන් මුදා හැරිය හැකි බව දන්වමින් නීතිපති උපදෙස් ලැබී ඇතැයි දැනුම් දුන්නේය. කෙසේ වෙතත් එම දැනුම්දීම සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙසට 2023 අගෝස්තු මස 08 වැනිදින කොළඹ අපරාධ කොට්ටාසය පොලිස් නීති කොට්ඨාසය හරහා යළි අභියාචනයක් කළ බවත්, ඊට අදාලව මෙතෙක් උපදෙස් ලැබී නොමැති බවත් දැනුම් දුන්නේය.

එම අවස්ථාවේ ශානි අබේසේකර මහතා ඇතුළු සැකකරුවන් වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ චමින්ද අතුකෝරල මහතා සහ නීතිඥ හෆීල් ෆාරිස් මහතා දැනුම් දුන්නේ කොළඹ අපරාධ කොට්ඨාසය මෙම සැකරකුවන් පිරිස තවදුරටත් මෙම නඩුවට කොටු කර තැබීම සඳහා නීතිය උඩුයටිකුරු කරන බවයි. නීතිපති උපදෙස් ලැබී තිබියදී එය ක්‍රියාත්මක කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය බැඳී සිටින බවත්, ශානි අබේසේකර මහතා ඇතුළු පිරිස කොන්ත්‍රාත් මිනීමැරුම් කර හෝ කම්පම් ගෙන හෝ ස්ත්‍රී දූෂණ සිදු කර හෝ නොමැති බවත්, කොන්ත්‍රාත් ඝාතනයක් ගැන විමර්ශන කර නියෝජ්‍ය පොලිස්පතිවරයකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඊට අදාලව ත්‍රිපුද්ගල මහාධිකරණයක් ඉදිරියේ පැවැති නඩු විභාගයකින් පසු එම නියෝජ්‍ය පොලිස්පතිට මරණ දඬුවම නියම වූ බවත්, එම සිද්ධිය විමර්ශනය කළ නිසා මෙම නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති බවත් නීතිඥවරු පැවසූහ.

අනතුරුව පෙරවරු 10.05ට පමණ මෙම නඩුව පසුව ගැනීම සඳහන් කල් බවන බව මහේස්ත්‍රාත්වරිය දැනුම්දුන්නාය. ඉන් අනතුරුව පෙරවරු 10.55ට පමණ මෙම නඩුව යළි කැඳවිණි.

එම අවස්ථාවේදී පළමුවැනි සැකකරු ශානි අබේසේකර මහතා වෙනුවෙන් නීතිඥවරු කණ්ඩායමක් සමග නීතිඥ චමින්ද අතුකෝරල මහතා ද, දෙවැනි සහ සිව්වැනි සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරු පිරිසක් සමග නීතිඥ හෆීල් ෆාරිස් මහතා ද පෙනී සිටියහ. නීතිඥ චමින්ද අතුකෝරල මහතා කරුණු දක්වමින් මෙසේද කීහ.

‘මෙම නඩුවට අදාලව කොළඹ අපරාධ කොට්ඨාසය වාර්තා කරලා තියන වරදවල් අධිචෝදනීය වරදවල්. මෙම අධිකරණයට බලය තිබෙන්නේ ඒ සම්බන්ධයෙන් විමර්ශනයට සහාය දෙන්න විතරයි. මෙම විමර්ශනයෙන් පසු උදෘත නීතිපති වෙත යොමු කළා. නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මාස ගණනක් තිස්සේ ඒවා පරිශීලනය කරලා මෙම නඩුවේ 1,2,3 සහ 4 සැකකරුවන්ට විරුද්ධව නඩුව පවත්වාගෙන යෑමට කරුණු නෑ කියලා තියනවා. ඒ අනුව වැඩිදුර කටයුතු නොකරන බවත්, සැකකරුවන් මුදා හරිය හැකි බවත් කියලා තියනවා.

ඒ වගේම ශානි අබේසේකරට ඇප ලබාදීමට අදාල කමනි අබේසේකර එදිරිව නීතිපති නම් සීඒ/සීපීඒ/18/2022 දරණ තීන්දුවේ නව වෙනි පිටුවේ දෙවැනි ඡේදය වෙත අධිකරණයේ අවධානය යොමු කරන්න කැමතියි.

මෙය ගොතන ලද නඩුවක් බව පැහැදිලියි. මෙම තීන්දුවට එරෙහිව අභියාචනා කරලත් නෑ.

කොළඹ අපරාධ කොට්ඨාසය කළ විමර්ශනය බලලා නීතිපති කියලා තියනවා නිදහස් කරන්න කියලා. කොළඹ අපරාධ කොට්ඨාසය කරුණු වාර්තා කරලා කියනවා නීතිපති උපදෙස නැවත සලකා බලන්න කියලා ඉල්ලුවා කියලා. නීතිපති නිදහස් කරන්න කියද්දිත් එහෙම නොකර ඉන්න මේ අධිකරණයට බලය තිබෙනවද?

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 398.2 උපවගන්තියේ මෙහෙම තියනවා. (කියවයි)

ඒ අනුව නීතිපති උපදෙස් පිළිපැදීමට මෙම අධිකරණය බැඳී සිටිනවා. නීතිපති උපදෙස් දුන්නම මේ අධිකරණයේ මේ නඩුව තියන් යන්න හැකියාවක් නෑ. නීතිපති අධිචෝදනා ගොනුකරනවා කියලා තියෙද්දි ඒ ගැන සලකා බලන්න කියලා නීතිපතිට අභියාචනයක් කළා එතකං මේක පවත්වාගෙන යන්න කියලා අපිට ඉල්ලන්නත් බෑ, නීතිපති නිදහස් කරන්න කිව්වම අභියාචනයක් දැම්මා එතකං නිදහස්කරන්නැතුව පවත්වාගෙන යන්න කියලා පොලිසියට ඉල්ලන්නත් බෑ.

කොළඹ අපරාධ කොට්ඨාසය සුපුරුදු පරිදි ද්වේශ සහගතව කටයුතු කරන්න අධිකරණ කටයුතු උඩුයටිකුරු කරන්න උත්සාහ කරනවා. ‘ ආදී වශයෙන් දීර්ඝ කරුණු දැක්වීමක් නීතිඥ අතුකෝරල කළේය.ඒ අනුව මෙම සැකකරුවන් නිදහස් කරන ලෙස නීතිඥවරයා ඉල්ලා සිටියේය.
නීතිඥ හෆීල් ෆාරිස් මහතා කරුණු දක්වමින් නීතිඥ චමින්ද අතුකෝරල මහතාගේ කරුණු දැක්වීම දෙක සහ හතර වැනි සැකකරුවන් සම්බන්ධයෙන්ද අදාල කර ගන්නා ලෙස ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත මහතා කරුණු දක්වමින් ප්‍රකාශ කළේ මෙම විමර්ශනයට අදාලව විමර්ශන අවසන් කර ගොනුව නීතිපති වෙත යැවූ බවයි. ඒ අනුව මෙම සැකකරුවන්ට එරෙහිව නීති මගින් කටයුතු නොකරන බව නීතිපතිවරයා දැනුම් දුන් බවත්, ඉන් පසු කොළඹ අපරාධ කොට්ඨාසය නැවත වරක් සැකකරුවන්ට එරෙහිව ඇති සාක්කි ගෙන හැර දක්වමින් මේ ගැන නැවත සලකා බලන ලෙසට වන අභියාචනයක් පොලිස් නීති කොට්ටාසය හරහා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කළ බවත් පොලිස් පරීක්ෂක නිශාන්ත මහතා සඳහන් කළේය. මෙතෙක් ඊට අදාලව නීතිපති උපදෙස් ලැබී නැතැයි ද ඔහු පැවසීය.

මෙම නඩුවේ නීතිපති උපදෙස් එවූ පසු නැවත නීතිපතිට යොමු කළ ඉල්ලීමේදී පරණ විමර්ශනයට අදාල කලින් යොමු කළ උදෘත හැර අලුත් විමර්ශනයක උදෘත ඇතුළත් කර යැව්වේදැයි මහේස්ත්‍රාත්වරිය කොළඹ අපරාධ කොට්ඨාසයෙන් විමසීමක් කළාය. ඊට පිළිතුරු දුන් පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත සඳහන් කළේ අලුත් විමර්ශනයක් නොකළ බවයි.

ඒ අනුව කරුණු සැලකා බැලූ මහේස්ත්‍රාත්වරිය තම නීත්දුව ලබා දෙමින් සඳහන් කළේ නීතිපති ලබා දී ඇති උපදෙස් අනුව සැකකරුවන් සියලු දෙනා නිදහස් කිරීමට තීන්දු කරන බවයි. අපරාධ නඩු විධාන සංග්‍රහයේ කරුණු ගෙන හැර දක්වමින් දීර්ඝ ලෙස තම නියෝගය සටහන් කළ මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් සඳහන් කළේ නීතිපති උපදෙස් ක්‍රියාත්මක නොකිරීමට හැකි කරුණු කිසිවක් මේ නඩුවට අදාලව ඉදිරිපත්ව නැති බවයි. නීතිපති සැකකරුවන් නිදහස් කිරීමට ගැන එවූ ලිපිය හැර වෙනත් කිසිවක් පොලිසිය මගින් හෝ ලිඛිතව හෝ රජයේ නීතිඥවරයකු මගින් හෝ නීතිපතිවරයා යළි අධිකරණයට දැනුම්දී නැතැයි ද, සැකකරුවන් නිදහස් කිරීම මගින් පැමිණිල්ලට අගතියක් සිදුවන්නේ නැතැයි ද මහේස්ත්‍රාත්වරිය තම නියෝගය අතරතුර සඳහන් කළාය.
ඒ අනුව මෙම නඩුවෙන් ශානි අබේසේකර මහතා ඇතුළු සැකකරුවෝ නිදහස් කරනු ලැබූහ.

ජනමාධ්‍යවේදීන් ඝාතනය, ජනමාධ්‍යවේදීන් අතුරුදන් කිරීම, වසීම් තාජුඩීන් ඝාතනය, කොළඹ හා ආසන්න ප්‍රදේශවල තරුණයන් 11 දෙනකු කප්පම් ගැනීමට රැගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුළු ආන්දෝලනාත්මක විමර්ශන කිහිපයක් 2015-2019 අතර කාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කෙරුණු අතර ඊට අදාලව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසකගෙන් ප්‍රකාශද සටහන් කර ගැනීම සිදු විය. 2019 වසරේ නොවැම්බර් මාසයේ පැවැති ජනාධිපතිවරණයෙන් එලෙස ප්‍රකාශ සටහන් කර ගෙන තිබූ ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළ අතර ඔහු ජනාධිපති ධුරයේ දිවුරුම්දී පැය 48ක් ඇතුළත ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිගේ පෞද්ගලික සහකාර ලෙස පත් කරනු ලැබීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 නොවැම්බර් මස 24 වැනිදා ස්වාමීන්වහන්සේ පිරිසක් බැහැ දැකීමට ගොස් ශානි අබේසේකර මහතාට එරෙහිව අදහස් ප්‍රකාශ කර තිබිණි.

‘ශානි අබේසේකර එයාට හිතෙන එකට හරියන්න විමර්ශන කරනවා. ඒවා ගැන රාජ්‍ය නොවන සංවිධාන ප්‍රශ්න අහන්නේ නැහැ. යුද්ධය කරපු අයවයි, නිලධාරීන්වයි, නාවික හමුදාපතිවයි හිරේදාන්නයි, බුද්ධි අංශය හිරේදාන්නයි, මාව හිරේදාන්නයි. එච්චර විතරක් නෙමෙයි. ඒ ගොල්ලෝ කොහොමද මගේ නම කියන්නේ කියලා බල කරපු නිලධාරීන්. රාජ්‍ය නොවන සංවිධාන ඒවා ප්‍රශ්න කරන්නේ නෑ.‘ යනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රශ්න කර තිබිණි.

ඉන් පසුව ශානි අබේසේකර මහතාගේ රාජකාරි වැඩ තහනම් කළ අතර සිද්ධියෙන් අවුරුදු තුනක් ගොස් තිබියදීත් ඊට අදාලව විමර්ශනයක් කිරීමටවත්, චෝදනා පත්‍රයක් ලබාදීමටවත් නොහැකි වූ අතර ඒ අනුව වහාම ශානි අබේසකෙර මහතාට වැටුප් ගෙවන ලෙස පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරය නියෝග කළේය. අබේසේකර මහතා 2021 ජුනි මාසයේදී විශ්‍රාම ගත් අතර ඔහුට විශ්‍රාම වැටුප ගෙවීම ද කිසිම විමර්ශනයක්වත් නැතිව අත්හිටුවා තිබිණි. ඔහු සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් 2021 ජුනි 31 වැනිදා රාත්‍රියේදී ෆේස්බුක්හි ද්වේශ සහගත ප්‍රතිචාර දක්වා තිබිණි.

2020 අගෝස්තු මහ මැතිවරණයට දින කිහිපයක් තිබියදී 2020 ජූලි 31 වැනිදා අබේසේකර මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ ඇති කොළඹ අපරාධ කොට්ඨාසය විසිනි.

ඒ අතරතුර දී විශ්‍රාමික විනිසුරු උපාලි අබේරත්නගේ (දැන් තොරතුරු කොමිසමේ සභාපති) සභාපතිත්වයෙන් යුත් දේශපාලන පළිගැනීම් සෙවීමේ කොමිසමක් ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කළ අතර එම කොමිසම විසින් ශානි අබේසේකරගේ අධීක්ෂණයෙන් අත්අඩංගුවට ගත් අපරාධ සැකකරුවන් මුදා හැරීමටත්, ශානි අබේසේකරට අපරාධ නඩු පැවරීමටත් නිර්දේශ කළේය. රිමාන්ඩ් බාරයේ සිටි අබේසේකර මහතා වරින් වර එම කොමිසමට කැඳවමින් ඔහු අපහසුතාවට පත් කිරීමට උපාලි අබේරත්න කටයුතු කර තිබිණි. උපාලි අබේරත්න ශානි අබේසේකර සම්බන්ධයෙන් කටයුතු කරද්දී අධිකරණයට අපහාසයක් කර ඇතැයි කියමින් අබේසේකර මහතා ගොනු කළ පෙත්සමක් අනුව අබේරත්න මහතාට අධිකණයේ පෙනී සිටින ලෙස මේ වන විට නොතීසි නිකුත් කර තිබේ.

රිමාන්ඩ් බන්ධනාගර ගතව සිටියදී අබේසේකර මහතාට කොවිඩ් ආසාදනය වූ අතර ඔහුට හෘද රෝගයක්ද වැළඳී තිබිණි. ඔහුට සුදුසු ප්‍රතිකාර ලබාදීමක්වත් සිදු නොකළ අතර පසුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මැදිහත් වී ඔහුට ප්‍රතිකාර ලබාදීම සිදු විය. ඔහුට හදවත් සැත්කමක් සිදු කළ අතර සැත්කම සිදු කිරීමෙන් නියමිත කාලයක් දැඩි සත්කාර ඒකකයේත්, තවත් කාලයක් වෛද්‍ය අධීක්ෂණය යටතේත් සිටිය යුතු වුවද ඊට අවස්ථාව නොදී යළි බන්ධනාගාරට රැගෙන යනු ලැබිණි.

බන්ධනාගාරයේදී ශානි අබේසේකරට ආරක්ෂාව සපයන ලෙසට ආණ්ඩුවට බල කෙරෙන මහජන පෙත්සමකට අත්සන් ගැනීමට තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඔන්ලයින් පෙත්සමක් සකස් කළ අතර ඊට අත්සන් 5000කට අධික ප්‍රමාණයක් ලැබිණි.

මාස 10කටත් වැඩි ගණනක් රිමාන්ඩ් බාරයේ සිටි අබේසේකර මහතාට ඇප ලබාදීම ගම්පහ මහාධිකරණ විනිසුරුවරයා ද ප්‍රතික්ෂේප කළ අතර පසුව අභියාචනාධිකරණයට ප්‍රතිෂෝධන පෙත්සමක් ඉදිරිපත් කිරීමට අබේසේකර මහතාගේ බිරිඳ කටයුතු කළාය. එය සලකා බැලූ අභියාචනාධිකරණ තම නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ අබේසේකර මහතාට එරෙහි චෝදනා ගොතන ලද චෝදනා බවට පෙනී යන බවයි. ඒ අනුව ඔහුට ඇප ලබා දෙන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය. එම නියෝගය අනුව ඔහුට ඇප ලැබිණි.

ඉන් පසු අවස්ථා ගණනාවකදී අබේසේකර මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට කැඳවූ අතර අවසානයේ අද දිනයේ ගම්පහ මහේස්ත්‍රාත්වරිය විසින් ඔහු නිදහස් කරනු ලැබීය.