චැනල් 4 & M-G-R

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වී වසරකට පසු එනම් 2016 ඔක්තෝබර් 12 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී බෝම්බයක් අතහැරියේය. ඔහු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇතුළු හමුදා නායකයන් උසාවි කූඩුවට නැග්ගීම ගැන තමා අප්‍රසාදය පළ කරන බවත්, තමන් මීට පෙර කට වහගෙන හිටියත් යහපාලන ආණ්ඩුවේ මෙවැනි ක්‍රියාවන්ට එරෙහිව කතාකරන්න තමන්ට සිදුවී ඇති බවත් කියා තමාගේත් රනිල්ගේත් යහපාලන ආණ්ඩුව පුපුරන්න ආසන්න බව නොකියා කීවේය.

මෛත්‍රීගේ මේ බෝම්බය පිපිරුණු සද්දෙන් ඇදගෙන වැටුණේ අගමැති රනිල් ඇතුළු යූ.ඇන්.පී.යය. රනිල් වහාම යූ.ඇන්.පී. ඇමැතිවරු ගෙනැවිත් මේ ගැන සාකච්ඡා කළේය. එවක හමුදා බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ ගෝඨාභය සහ හමුදා නායකයන් උසාවි ගෙනයෑම ගැන කලකිරීමෙන් සිටින බවටත්, එය හමුදාව තුළ ආණ්ඩු විරෝධයක් දක්වා වර්ධනය විය හැකි බවටත් දුන් බුද්ධි අංශ වාර්තාවක් නිසා කෝපයට පත්වී මෛත්‍රී මෙම කතාව කළ බව රනිල්ගේ මතය විය. ගෝඨා හිතවාදී හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෛත්‍රීපාල සහ රනිල් අතර ගැටුම් ඇතිකොට ආණ්ඩුව වට්ටවන්න කුමන්ත්‍රණය කරන බව රනිල්ගේත් ඇමැති මණ්ඩලයේත් මතය වූ අතර, වහාම ඔහුව ඉවත් කරන ලෙස කැම්පේන් එකක් පටන්ගන්න තීරණය විය. ඉන් පසු පැවැති ඇමැති මණ්ඩල පුවත්පත් සාකච්ඡාවේදී එවක සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න බුද්ධි අංශ ප්‍රධානී සලේගේ නම කියලා ගැහුවේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

‘අද යාපනය අස්ථාවර කරන්නේ මේ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා. යාපනයේ මිනී මරන ආවා ගෲප් එක හමුදා බුද්ධි අංශ නිර්මාණයක්.’ මේ රාජිත කිව්ව කතාවය. ඉන් පසු සිවිල් සංවිධාන නායක මහාචාර්ය සරත් විජේසූරිය ජනාධිපති සහ අගමැති අතර ප්‍රශ්න ඇතිකොට ආණ්ඩුව අස්ථාවර කරන්නේ හමුදා බුද්ධි අංශ ප්‍රධානී සලේ බවත්, ඔහුව වහාම ධුරයෙන් ඉවත් කළ යුතු බවත් කීවේය. මේ මහාචාර්යවරයා ඇතුළු සිවිල් සංවිධාන නායකයන් මෛත්‍රී හමුවී සලේට එරෙහිව චෝදනා ඉදිරිපත් කළ විට මෛත්‍රී ඔහුව හමුදා බුද්ධි අංශ ප්‍රධානී තනතුරෙන් ඉවත් කළේය.

රනිල් සහ යූ.ඇන්.පී.ය හමුදා බුද්ධි අංශ ප්‍රධානී තනතුරෙන් ඉවත් කරන්න කී සලේ අද ජනාධිපති සහ ආරක්ෂක ඇමැති රනිල්ගේ රාජ්‍ය ඔත්තු සේවා ප්‍රධානියාය. ඔහුව රාජ්‍ය ඔත්තු සේවා ප්‍රධානියා ලෙස පත්කළේ ගෝඨාභය ජනාධිපති වීමෙන් පසුවය. ගෝඨාගෙන් පසු ජනාධිපති වූ රනිල් ඔහුව ඉවත් කළේ නැත.

දැන් චැනල් 4 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විකාශය කළ වැඩසටහන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුට එල්ල කරන චෝදනා නිසා ඔහුව ඉවත් කරන ලෙස විපක්ෂය ඉල්ලා සිටී. ඒත් රනිල් තවම එයට ප්‍රතිචාර දක්වා නැත.

මේ සලේගේ සිද්ධියෙන් පේන්නේ මෛත්‍රී සහ රනිල් යන දෙදෙනාම එකම කාසියේ දෙපැත්ත බවය. මෛත්‍රී ජනාධිපති වුණේ යූ.ඇන්.පී. ඡන්දවලින්ය. රනිල් ජනාධිපති වුණේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දවලින්ය. මෛත්‍රී යූ.ඇන්.පී. ඡන්දවලින් ජනාධිපති වෙලා ගැහුවේම යූ.ඇන්.පී.යටය. ඒ කාලේ රනිල්ට යූ.ඇන්.පී. මන්ත්‍රීවරයකුට ඇමැතිකමක් අරගෙන දෙන්න මෛත්‍රී ළඟ වැඳවැටෙන්න සිදුවිය. අද රනිල් පොදුජන පෙරමුණේ ඡන්දවලින් ජනාධිපති වෙලා රාජපක්ෂලා කොයි තරම් රනිල් ඉදිරියේ වැඳවැටුණත් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට ඇමැතිකම් දෙන්නේ නැත.

මෛත්‍රී, රනිල් ඇතුළු යූ.ඇන්.පී. ආණ්ඩුව සමග ගැටුම් හදාගෙන මුළු රටම අස්ථාවර කොට විනාශයට ගෙන ගියේය. අද රනිල් පොදුජන පෙරමුණේ නායකයන් සමග ගැටුම් හදාගෙන රට තුළ නැති ප්‍රශ්න ඇතිකරමින් සිටී.

මෛත්‍රී ජනාධිපති වූ පසු තමා ජනාධිපති වූයේ යූ.ඇන්.පී. ඡන්දවලින් බව කියන්න කැමැති නොවීය. ඔහු කීවේ තමාට ශ්‍රීලනිප ඡන්ද විශාල ප්‍රමාණයක් ලැබුණු බවය. ඒ වගේම ඔහු ජනාධිපති වුණු දින සිට ඊළඟ ජනාධිපතිවරණයට යූ.ඇන්.පී.යේ පොදු අපේක්ෂකත්වය බලාපොරොත්තු විය.

රනිල් පාර්ලිමේන්තුවේ ජනාධිපති වූයේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දවලින් වුණාට රනිල් ප්‍රසිද්ධියේ එය පිළිගත්තේ නැත. ඔහු කියන්නේ ඔහුට සමගි ජන බලවේගයේ සහ දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද ලැබුණු බවය. ඒ වගේම ඔහු ජනාධිපති වුණු දින සිට උත්සාහ කරන්නේ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාගන්නටය.

තමාට යූ.ඇන්.පී.යේ සහාය ජනාධිපතිවරණයේදී නොලැබෙන බව තේරුම්ගෙන මෛත්‍රී කළේ යූ.ඇන්.පී.ය දෙකඩ කරන්න කුමන්ත්‍රණය කිරීමය. තමාට ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණු අපේක්ෂකත්වය නොලැබෙන බව දැන අද රනිල් කරන්නේත් පොදුජන පෙරමුණ දෙකඩ කරන්න කුමන්ත්‍රණය කිරීමය.

මෛත්‍රී යූ.ඇන්.පී.ය දෙකඩ කරන්න කුමන්ත්‍රණය කරන අතරතුර විපක්ෂය වූ මහින්දගේ ඒකාබද්ධ විපක්ෂයත් කඩන්න ගහන්න පුළුවන් හැම ගේමක්ම ගැහුවේය. අද රනිල් පොදුජන පෙරමුණ කඩන්න උත්සාහ කරන ගමන් විපක්ෂය වූ සමගි ජන බලවේගය කඩන්න දන්න හැම ගේමක්ම ගහයි.

මෛත්‍රී රනිල් විනාශ කරන්න රනිල්ට බැඳුම්කර චෝදනාව ගෙන ආවේය. රනිල් මෛත්‍රී විනාශ කරන්න පාස්කු ප්‍රහාරයේ වගකීම මෛත්‍රී පිට පටවන්න උත්සාහ කළේය. අන්තිමට බැඳුම්කර චෝදනාවෙන් මෛත්‍රී සහ රනිල් යන දෙදෙනාම විනාශ විය. පාස්කු බෝම්බයෙන්ද වුණේ මෛත්‍රී සහ රනිල් යන දෙදෙනාම විනාශ වීමය. බැඳුම්කර චෝදනාවට වගකිව යුතු අර්ජුන් මහේන්ද්‍රන්ව මහබැංකු අධිපති ධුරයට පත්කළේ මෛත්‍රීපාලය. ‘මම අර්ජුන් මහේන්ද්‍රන්ව පත් කළේ රනිල් කිව්ව නිසා’ කියලා මෛත්‍රි කිව්ව කතාව ජනතාව පිළිගත්තේ නැත. පාස්කු ප්‍රහාරය වළක්වන්න තමාට බැරි වුණේ තමාව ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට ගෙන ආවේ නැති නිසා යැයි රනිල් කිව්ව කතාව ජනතාව පිළිගත්තේ නැත.

ගෝඨාභය, මහින්ද අගමැති ධුරයෙන් ඉවත් වූ විට රනිල්ව අගමැති කරන්න යද්දී මෛත්‍රීපාල එයට එකඟ දැයි නිමල් සිරිපාල හරහා පණිවුඩයක් යවා අහලා බැලුවේය. තමාට අගමැතිකම නොලැබී නිමල් සිරිපාල හෝ ඩලස් අගමැති වෙනවාට අකැමැති වූ මෛත්‍රිපාල රනිල් අගමැති වෙනවාට විරුද්ධත්වයක් පළ කළේ නැත. ඒත් රනිල් ජනාධිපති වූ විට මෛත්‍රී බය වුණේ රනිල් ඔහුගෙන් පලිගනී කියාය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණය තීන්දුව දුන් විට මෛත්‍රී තවත් බය වුණේ රනිල් පාස්කු ප්‍රහාරයට තමාව බිල්ලට දෙයි කියලාය. රනිල්ද ඒ කාලයේ මෛත්‍රී බැඳුම්කර චෝදනාවට තමන්ව අත්අඩංගුවට ගනියි කියලා මෛත්‍රීට බයෙන් හිටියේය. දැන් මෛත්‍රීගේ බය වැඩිවෙලා මෛත්‍රී බලන්නේ රනිල්ට එකතු වෙන්නටය. ඒකට බාධාව දයාසිරිය. ඒ නිසා මෛත්‍රී දයාසිරිව පක්ෂයෙන් පැන්නුවේය. දයාසිරිව පක්ෂ ලේකම්කමින් පන්නන්න මෛත්‍රිට හයිය දුන්නේ රනිල්ගේ ආණ්ඩුවේ ශ්‍රීලනිප ඇමැතිවරුය.

චැනල් 4 පාස්කු බෝම්බයට ගෝඨාභයට ඇඟිල්ල දිගු කරන විට පාස්කු බෝම්බය වළක්වන්න උත්සාහ නොකිරීම සම්බන්ධයෙන් අධිකරණය මෛත්‍රීපාලට ඇඟිල්ල දිගු කරන විට පාස්කු බෝම්බය වළක්වන්න උත්සාහ නොකිරීම සම්බන්ධ නඩුවේ චෝදනා ඉදිරිපත් වූ රනිල් ජනාධිපති මුක්තිය පාවිච්චි කොට ඒ නඩුවෙන් නිදහස් වන විට අලුත් සන්ධානයක් නිර්මාණය වෙමින් තිබේ. ඒ සන්ධානය නම් රනිල්-මෛත්‍රීපාල-ගෝඨාභය සන්ධානයය. දැනටත් ගෝඨා සහ රනිල් ඉන්නේ එක පිලකය. දැන් මෛත්‍රී ශ්‍රීලනිපයත් අරගෙන ඒ පිලට එකතු වීමට සාකච්ඡා කරමින් සිටී.
ගෝඨාභය 2019 ජනාධිපතිවරණයේ අපේක්ෂකයා වන්නේ පාස්කු බෝම්බය නිසාය. පාස්කු බෝම්බය පිපිරුවේ නැත්නම් ඔහු අපේක්ෂකයා වන්නේ නැත. ගෝඨාභය ජනාධිපතිවරණය දිනන්නේත් පාස්කු බෝම්බය නිසාය. 2019 ජනාධිපතිවරණයට පසු මෛත්‍රීපාල දේශපාලන වශයෙන් නන්නත්තාර වන්නේත් 2020 මහ ඡන්දයෙන් රනිල්ට ඇපත් නැති වෙන්නේ පාස්කු බෝම්බය නිසාය. 2022 ගෝඨාභයට මර බයේ ජනාධිපතිකම රනිල්ට දීලා පැනලා යන්න වෙන්නේත් නිකම්ම නොවේ. පාස්කු බෝම්බය නැවත නැවත කරළියට එන්නේත් නිකම්ම නොවේ. අධිකරණය පාස්කු ප්‍රහාරය වළක්වන්න නොහැකි වීමේ වගකීම භාරගෙන වන්දි ගෙවන්නයි මෛත්‍රීපාලට නියෝග කළ විට හෙලිකොප්ටර් සන්ධානය මෛත්‍රිපාලව කොන් කළේ මෛත්‍රීපාලගේ පවු කරගහගෙන යන්න ඔවුන් අකැමැති වූ නිසාය.

බෝම්බය වළක්වන්න බැරි වූ මෛත්‍රීපාලට දේශපාලන දඬුවම් ලැබී තිබේ. 2020 මහ ඡන්දයේදී බෝම්බය වළක්වන්න අසමත් වූ බවට චෝදනා ලද රනිල්ටත් 2020 මහ ඡන්දයෙන් දඬුවම් ලැබිණි. පාස්කු බෝම්බය දේශපාලන පන්දුවක් කරගත් ගෝඨාභයට 2022 භයානකම දඬුවම ලැබිණි. ඒත් ඔවුන් පාඩම් උගෙන නැත. රනිල් ගෝඨාගේ පිහිටෙන් ජනාධිපති විය. ගෝඨා රනිල්ගේ පිහිටෙන් ආරක්ෂා වී සිටී. 2019 ගෝඨාට සහාය දී පාස්කු බෝම්බ චෝදනාවලින් බේරී සිටි මෛත්‍රි දැන් රනිල් සමග සන්ධානගත වී පාස්කු බෝම්බ චෝදනාවලින් බේරෙන්න වලිකයි.

‘මේ සන්ධානය දිනයිද…?’

ඒ ගැන දිවැසි වැකි කියන්න තවම කල් වැඩිය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු