ඊළාම් විමුක්ති කොටි සෙබල, සෙබලියන්ගේ යයි සැකකෙරෙන සිරුරු පහක් ගොඩගනී

යුද පීඩිත වන්නියෙන් හමු වු ශ්‍රී ලංකාවේ අලුත්ම සමූහ මිනීවලේ කැනීම් කටයුතු යළි ආරම්භ කර දින අටක් ගත වෙද්දී, පුද්ගලයන් දාහතර දෙනෙකුට අයත් අස්ථි කොටස් ගොඩ ගෙන තිබේ.

සැප්තැම්බර් 14 වැනි දා කැනීම් කටයුතු නිමා විමෙන් පසුව, සිරුරු ගොඩගැනීමේ කටයුතු නිරීක්ෂණය කරමින් සිටි නීතිඥ වී එස් නිරංජන් ප්‍රදේශයේ මාධ්‍යවේදීන් හා කියා සිටියේ විමුක්ති කොටි සටන්කාමීන් පස් දෙනෙකුගේ  බවට සැක කෙරෙන මානව අස්ථි කොටස් ගොඩ ගත් බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

“කොක්කුතොඩුවායි සුසාන වළේ අටවැනි දින කැණීම්වලදී දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ කියලා විශ්වාස කරන මිනිස් අස්ථි ශේෂ ගොඩ ගත්තා. ඒ අතරින් සෙබළියකගේ අස්ථි ශේෂ හතරක් සහ පිරිමි සටන්කාමියකුගේ අස්ථි කොටස් ගොඩ ගත්තා. එක් මිනිස් අස්ථි ශේෂයක වෙඩි උණ්ඩයකුත් එයාලාගේ දිග කලිසමක E-1124 අංකය ලියා තිබුනා.”

ගොඩ ගන්නා මානව අස්ථි කොටස් මුලතිව් දිස්ත්‍රික් රෝහලේ තැන්පත් කර ඇති බව වෛද්‍ය නිලධාරී කනගසභාපති වාසුදේව සැප්තැම්බර් 13 වැනිදා ප්‍රදේශයේ මාධ්‍යවේදීන්ට දැනුම් දී තිබුනි.

යුද්ධයෙන් වැඩිම හානියට පත් මුලතිව් දිස්ත්‍රික්කයේ කොක්කුතොඩුවායි හිදී මාස දෙකකට ඉහත  මතුවූ සමූහ මිනීවලේ කැනීම් කටයුතු අධිකරණ නියෝග මත සැප්තැම්බර් 6 වැනිදා උදෑසන සිට යළි ආරම්භ කළේය.

කොක්කුතොඩුවායි මහාවිද්‍යාලයේ සිට කෝකිලායි දෙසට මීටර් 200ක් පමණ දුරකින් ජුනි 29 වැනි බ්‍රහස්පතින්දා හවස් යාමයේ මිනිස් සිරුරු කොටස් සහ ඇඳුම් කොටස් අහම්බයෙන් හමුවී තිබුනේ ජල සම්පාදන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය ජලනල එළීමට පොළව හාරමින් සිටියදී ය.