ප්‍රභූ ආරක්ෂාව පොලීසියෙන් ඉවත් කරයි – සිවිල් ආරක්ෂක බලකාය යෙදවීමේ තීරණයක්
ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදවා සිටින පොලිස් නිළධාරීන් සියලු දෙනා ඉවත් කිරීමට මහජන ආරක්ෂාව භාර අමාත්‍ය සරත් වීරසේකර මහතා තීරණය කර තිබෙනවා. ඒ අනුව ප්‍රභූ ආරක්ෂක කටයුතුවල නිරතව සිටින පොලිස් නිළධාරීන් 44,000 ක් පමණ ඉවත් කිරීමට නියමිතය. මෙය පියවර කිහිපයක් යටතේ සිදු කිරීමටයි තීරණය කර තිබෙන්නේ.
පොලීසිය වෙනුවට ප්‍රභූ ආරක්ෂක කටයුතු සඳහා සිවිල් ආරක්ෂක බළකා සෙබළුන් යෙදවීමටයි ඇමතිවරයා තීරණය කර තිබෙන්නේ.
සරත් වීරසේකර මහතා සහ පොලිස්පතිවරයා අතර පැවති සාකච්ඡාවකදී මීට අදාල උපදෙස් ලබා දී තිබේ.
පොලිස් සේවයේ නිරත නිළධාරීන් 80,000 කගෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් මැති-ඇමතිවරුන්, විනිශ්චයකාරවරුන් ඇතුළු ප්‍රභූන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටීම හේතුවෙන් පොලිස් සේවයේ කටයුතු අඩාල වී තිබීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත. මේ යටතේ පළමු අදියරේදී ප්‍රභූවරුන්ගේ නිවෙස්වල ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිළධාරීන් ඉන් ඉවත් කර ඒ වෙනුවට සිවිල් ආරක්ෂක බළකා සෙබළුන් යෙදවෙනු ඇත.
සිවිල් ආරක්ෂක බළකා සෙබළුන් සඳහා ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලබාදීමටද නියමිත අතර පොලිස් විශේෂ කාර්ය බළකාය හරහා අදාල පුහුණු කටයුතු සිදු කිරීමට නියමිතය.