කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් සලකාබැලීම හෙට

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ හෙට (19) සලකා බැලීමට නියමිතව තිබේ.

අදාළ පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කෙරුණු අතර බුවනෙක අළුවිහාරේ , ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා යන විනිසුරුවරුන් එහි සෙසු සාමාජිකයින්ය.

වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බැවින් එම වගන්ති සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් හා ජනමත විචාරණයකින් සම්මතවිය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

මේ අතර වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත හරහා මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කිසිදු හානියක් සිදුවී නොමැති බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

එම සංවිධානය පෙන්වා දෙන්නේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම හරහා යහපතක් මිස හානීයක් සිදු නොවන බවය.

මේ අතර මෙම වරාය නගර ව්‍යාපෘති කොමිසම සම්බන්ධයෙන් තවත් පර්ශ්ව කිහිපයක් අදහස් පළ කළේය.

ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සඳහන් කළේ, “මේක චීන කොළනියක් වෙනවා කියලා බටහිර NGO කාරයෝ වැරදි අදහසක් ගෙනියනවා.”

කොළඹ ව්‍යාපාරික සංගමයේ ප්‍රධාන ලේකම් චමින්ද විදානගමගේ මහතා පැවසුවේ “අපේ රටට අවශ්‍යම කරන ව්‍යාපෘතියක්. දැනටමත් පරක්කුවෙලා වැඩියි. කොළඹ ව්‍යාපාරිකයින් විදිහට මේකෙ හානියක් අපිට පේන්නේ නෑ. විශාල වෙළෙඳපොලක් අපිට ඇතිවෙනවා,” යනුවෙනි.

කොළඹ ව්‍යාපාරික සංගමයේ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා සඳහන් කළේ, “කරපු විදිහ හදිසි වැඩි වෙන්න පුළුවන්. නමුත් අපේ ආර්ථිකය අපි හදාගන්න ඕනේ,” යනුවෙනි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!