උතුරු පළාතේ සියලු ම එළවළු වෙළඳපොළවල් තාවකාලිකව වසා දැමීමට නිර්දේශ
උතුරු පළාතේ සියලු ම එළවළු වෙළඳපොළවල් තාවකාලිකව වසා දැමිය යුතු බවට නිර්දේශ ලබා දී ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ. කේදීශ්වරන් මහතා පවසයි.
කේදීශ්වරන් මහතා පැවසූවේ, මරදනාමඩම හා සංගානෙයි එළවළු වෙළඳපොළවල සේවය කළ පිරිසකට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට තහවුරු වීම හේතුවෙන් අදාළ නිර්දේශ ලබා දී ඇති බවය.
කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව ද කේදීශ්වරන් මහතා ප්‍රකාශ කළේ ය.
මරදනාමඩම හා සංගානෙයි එළවළු වෙළඳපොළවල් ආශ්‍රිතව පුද්ගලයින් පිරිසකට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට පසුගිය දා තහවුරු විය.
අදාළ එළවළු වෙළඳපොළවල සේවය කළ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් හඳුනාගැනීම සඳහා ඒවා මෙලෙස තාවකාලිකව වසා දැමීමට නිර්දේශ ලබාදී තිබේ.