ජනාධිපතිගේ වසංගත අරමුදලට රාජ්‍ය සේවකයන්ගේ පඩිපතට බලපෑම්

වසංගත සමයේ ආධාර වශයෙන් කෝටි 140 කට ආසන්න මුදලක් රැස්කරගෙන තිබෙන ජනාධිපති කාර්යාලයේ ඉටුකම ව්‍යාපෘතිය වෙනුවෙන් වැටුපෙන් ගෙවීමට රජයේ සේවකයන්ට බලපෑම් කෙරෙන බව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වෙනුවෙන් පවත්වාගෙන යන ඉහලම ආයතනය පවසයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් හෙළිකොට ඇති පරිදි ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර රාජ්‍ය සේවකයන් සියලු දෙනා වෙත ඔවුන්ගේ ප්‍රධානීන් හරහා සිදුකළ පුද්ගලික මුදල් ආයාචනයට අනුව විවිධ අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් සේවකයන් වෙත මුදල් ඉල්ලා ලිපි යොමු කර තිබේ.

“එම ලිපි ලේඛන අනුව වැටුප හෝ ඉන් කොටසක් අඩුකර යැවීම අනිවාර්ය කරුණක් බවට පත් වී ඇති බවත්, ඒ සදහා රජයේ සේවකයන්ට වක්‍රව හා ඝෘජු බලපෑම් ඇති බවටත් මානව හිමිකම් කොමිෂන් සභාවට නිරීක්ෂනය වී ඇත.”

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ලේකම් ටී.ඩී විමලසුරිය ජුනි 11 වැනිදා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් සහ සියලුම පළාත් අමාත්‍යංශ ලේකම්වරු වෙත ලිපියක් යොමු කරමින් ඒ බව දැනුම් දී තිබේ.

ජනාධිපති ලේකම් විසින් වෙසක් පෝදාට පෙර දින ආයතන ප‍්‍රධානීන් අමතා රාජ්‍ය සේවකයන්ගේ මාසික වැටුප ඉල්ලීම මගින් රජයේ සේවකයන්ට අයුතු බලපෑම් කිරීමට නිලධාරීන්ට මග පාදා දීමේ අවදානම පිළිබඳව මුල් වරට අනතුරු අඟවා තිබුනේ ලංකා ගුරු සංගමය විසිනි.

ජනාධිපතිවරයාගේ සෘජු නියෝජිතයා නිල ලිපි ශීර්ෂය යොදා ගනිමින් ආචාර්ය පී.බී ජයසුන්දර සිදු කළ එම ඉල්ලීම සමස්ත රාජ්‍ය සේවක ක්ෂේත්‍රයම බියගැන්වීමක් ලෙසින් ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් මැයි මස 7 වනදා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබුනි.

එයින් මාසයකට වැඩි කාලයක් ගතවීමෙන් පසු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අමාත්‍යවරයා, සියලු ප්‍රධාන අමාත්‍යවරුන් සහ ජනාධිපති ලේකම් වෙතත් පිටපත් යොමු කරමින් ටී.ඩී විමලසුරිය විසින් යොමු කළ ලිපිය මගින් වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ රාජ්‍ය සේවකයන්ට සෘජු හා වක්‍ර ආකාරයෙන් බලපෑම් සිදු කර ඇති ආකාරයයි.

“උදාහරණ ලෙස උතුරු පළාත් සභාවේ ආණ්ඩුකාරවරයා විසින් කරන ලද ඉල්ලීමකට අනුව මේ සදහා මැයි මාසයේ දිනක වැටුප අඩුකිරීමට උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ සේවකයන්ගේ කැමැත්ත ලබාගැනීම සදහා සම්පුර්ණ කිරීමට පෝරමයක් යොමු කර ඇති අතර, එම පෝරමය සම්පුර්ණ කර නොඑවන පාසල් සදහා මැයි මාසයේ වැටුප් පත නිකුත් නොකරන බව දන්වා ඇත.”

ජනාධිපති කාර්යාල ව්‍යාපෘතියට මුදල් නොදෙන පුද්ගලයන්ට අනාගතයේදී අසාධාරණයක් සිදුවීමේ අවදානමද මානව හිමිකම් කොමිසම විසින් පෙන්වා දී ඇත.

“එමෙන්ම වැටුප හෝ ඉන් කොටසක් අඩු කර ගැනීමට කැමැත්ත ලබාදෙන හා කැමැත්ත ලබානොදෙන සේවකයන්ගේ නාමලේඛනයක් ඉල්ලා සිටීම හා වැටුප අඩු කිරීමට කැමැත්ත ලබාදුන් සියලුම නිලධාරීන්ගේ නම් ලැයිස්තුවක් ගොනු කර පවත්වා ගැනීමට උපදෙස් දීම තුළින් මේ සදහා කැමැත්ත ලබා නොදුන් සේවකයන්ට වෙනස් කොට සැලකීමක් සිදුවීමට ඉඩ ඇති බව,” ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිරීක්ෂණය වී තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභවේ ලේකම් ටී.ඩී විමලසුරිය පෙන්වා දෙන්නේ එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවයි.

ඒ අනුව සේවකයන්ගේ කැමැත්ත මත වැටුප හෝ ඉන් කොටසක් පරිත්‍යාග කිරීමට ආයතන ප්‍රධානීන්ගේ මාර්ගයෙන් දැනුම්දීම දැනටමත් ගැටළුවක් බවට පත්ව ඇති බැවින් මෙම පරිත්‍යාග ලබා ගැනීම කළ යුත්තේ ඒ පිළිබඳව සෘජුවම සේවකයන් වෙත දැනුම් දී ඔවුන්ගේ ස්වකැමැත්ත මත බව මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කර තිබේ.

රාජ්‍ය සේවකයන්ට වෙනත් කිසිදු ආකාරයක බලපෑමක් ඇති නොවීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභවේ ලේකම් ටී.ඩී විමලසුරිය අවසන් වශයෙන් අවධාරණය කර ඇත්තේ 1996 අංක 21 දරණ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ බලතල ප්‍රකාරව කොමිෂන් සභාව විසින් තමා වෙත ලබා දෙන ලද උපදෙස් අනුව ඉහත දැනුම්දීම කළ බව “කරුණාවෙන් සලකන” ලෙසයි.

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග රැස්කොට මේජර් ජනරාල් කේ. බී එගොඩවෙලගේ නායකත්වයෙන් පවත්වාගෙන යන COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය ජුනි 12 වන විට රුපියල් කෝටි 137 ඉක්මවා ගිය බව ජනාධිපතිවරයා විසින් නිවේදනය කර තිබේ.

වසංගතයට මුහුණ දීම සඳහා පවත්වාගෙන යන අරමුදල් වලට දායක වීමෙන් රජයේ ආරක්ෂක අංශ නිදහස් කර තිබේ.

Comments are closed.