මුස්ලිම්වරුන්ට හා ලේඛකයන්ට එරෙහිව නීතිය හිතුමතේ යොදාගෙන …

මානව හිමිකම් රැකීම අරමුණු කොටගත් පනතක් අත්තනෝමතික ලෙස යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ සුළු ජාතිකයන්ගේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය කිරීම ගැන ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් කනගාටුව පල කර තිබේ.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) මුස්ලිම්වරුන් ඉලක්ක කරගැනීමට අමතරව නිදහස් මතධාරීන්ද මර්දනය කිරීමට පාවිච්චි කෙරෙන බවයි ඇම්නස්ටි ජාත්‍යන්තරය පවසන්නේ .

නව රජය පත් වී පළමු වසර ඉක්මවීමටත් පෙර ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාවට නිරන්තරයෙන් නින්දා කිරීම සහ පලිගැනීම් වැනි සිදුවීම් ඇති වීම කනගාටුවට කරුණක් බව ද එම ආයතනය සඳහන් කර ඇත්තේ විශේෂ වාර්තාවක් නිකුත් කරමිනි.

මුහුණු පොතේ යෙදු සටහනක් පදනම් කරගෙන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය යටතේ අප්‍රේල් 9 වන දින අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරිකයකු වන රම්සි රසික්ගේ නඩු විභාගය කිහිප වතාවක් කල් දමා ඇති අතර, ඔහු මේ වන තෙක් රිමාන්ඩ් භාරයේ පසුවන්නේ ICCPR යටතේ ඇති වැරදිවලට මහේස්ත්‍රාත් අධිකරණයේ ඇප ලබාදිය නොහැකි බැවින් බව ඇම්නස්ටි ජාත්‍යන්තර ආයතනය පෙන්වා දෙයි.

“ශ්‍රී ලංකාවේ අයිසීසීපීආර් පනත මගින් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති අතර, එහි අත්තනෝමතික භාවිතය නිසා මුස්ලිම්වරුන් ඉලක්ක කර ගැනීමට අමතරව සාමකාමීව තම මතය ප්‍රකාශ කරන ලේඛකයන් සහ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට ද හේතු වී තිබේ.”

2020 අප්‍රේල් 14 වැනිදා ජනාධිපති නීතිඥ හෙජාස් හිස්බුල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අතර මේ වන විටත් චෝදනාවක් නොමැතිව ඔහු රඳවා තබාගෙන සිටින බව පෙන්වා දෙන ඇම්නස්ටි ජාත්‍යන්තරය අවධාරණය කරන්නේ අත්අඩංගුවට ගන්නා හේතුව සහ ඔහුට එරෙහි චෝදනා දැනුම් දීමකින් හෝ නිසි නීතිමය ක්‍රියාදාමයක් අනුගමනය කිරීමෙන් තොරව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බවයි.

ව්‍යවස්ථාව උල්ලංඝනය

ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින නීතිඥවරුන්ද අධිකරණය හමුවේ පෙන්වා දී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද උල්ලංඝනය කරමින් බවයි.

යමකු අත්අඩංගුවට ගැනීමේදී හේතුව දක්වා සිටිය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා ඇතත්, රහස් පොලිසිය හෙජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් එය අනුගමනය කර නැති බව ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර 17 බදාදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක ඉදිරියේ කරුණු දක්වමින් කියා තිබුණි.

මුස්ලිම් ප්‍රජාවට එරෙහි සිදුවීම් දිගටම පැවතුනහොත්, ශ්‍රී ලංකාව තුළ තවත් සුළුතර කණ්ඩායමක් කොන් කිරීමේ අවදානමක් පවතින බවද ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සිය නිවේදනය මගින් වැඩි දුරටත් අවධාරණය කර තිබේ.

ශක්තික සත්කුමාර

අන්තර්ජාලයේ කෙටිකතාවක් පළකිරීමෙන් බුද්ධාගමට අපහාස කළ බවට චෝදනා නගා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය යටතේ ලේඛක ශක්තික සත්කුමාර පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන නඩු පවරා පසුගිය මාසයට වසරක් සම්පුර්ණ විය.

ඔහුගේ නඩුව මේ වසරේ සැප්තැම්බර් 22 දක්වා කල් දමා තිබේ. චෝදනා ඔප්පු කෙරුනොත් වසර දහයක කාලයකට හිර දඬුවම් ලැබීමේ අවදානට ඔහු මුහුණ දී සිටි.

පසුගිය මැයි මස 5 වන දින අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායම (Working Group on Arbitrary Detention) එහි 87 වන සැසියේදී තම මතය ඉදිරිපත් කරමින් දීර්ඝ කරුණු විග්‍රහයක් සහිතව පෙන්වා දී තිබුණේ ලේඛක ශක්තික සත්කුමාර නඩු විභාගයට පෙර මාස 4 ක් පුරා රඳවා තබා ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකා රජය සිය ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම්වලට පටහැනිව කටයුතු කොට ඇති බවයි.

ඇමරිකාවේ රාජ්‍ය නොවන සංවිධානයක් වන Freedom Now විසින් ගොනු කරන ලද පෙත්සමකට ප්‍රතිචාර දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයද නිගමනය කොට තිබුණේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස භුක්ති විදීම හේතු කොට ශක්තික සත්කුමාර අත්තනෝමතිකව රඳවාගෙන තිබු බවයි.

ශක්තික සත්කුමාරගේ මුලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට මෙන්ම ඔහුට වන්දි මුදලක් ලබා දීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේදැයි අධ්‍යනය කිරීමටත් අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායම තීරණය කර තිබුනි.

ICCPR යටතේ පොලිසිය විසින් පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කරනු ලබන්නේ නීතිය අයුතු ලෙස පාවිච්චි කරමින් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මෙන්ම අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීන් ද මීට ඉහත දී ලිඛිතවම චෝදනා කර තිබේ.

Comments are closed.