බලධාරීන් සාකච්ඡා මගහැර මුහුදු මහා විහාරයේ ඉඩම් ප්‍රශ්නය අවුලට

මතභේදයට තුඩුදී තිබෙන මුහුදු මහා විහාරය අවට ඉඩම් අත්පත්කරගැනීමට විරෝධය පෑ පාරම්පරික පදිංචිකරුවන් ගෙන් කරුණු විමසා ප්‍රශ්නය විසඳා ගැනීමට පොරොන්දු වූ දිනයේ බලධාරීන් සාකච්ඡාව මගහැරීම නිසා පොතුවිල්හි නොසන්සුන්කාරී තත්වය තවදුරටත් වියවුල් අතට හැරී තිබේ.

පුරාවිද්‍යාත්මක වශයෙන් මෙන්ම සංචාරක ආකර්ෂණය අතින්ද වැදගත් කමක් උසුලන අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් වෙරළාසන්නයේ පිහිටි මුහුදු මහා විහාරය අවට ඉඩම් මැනීමට මිනින්දෝරු දෙපාර්තමේන්තුව ගත් උත්සාහයට ජුනි 18 බ්‍රහස්පතින්දාත් 19 සිකුරාදාත් ප්‍රදේශයේ ජනතාව දැක්වු විරෝධය හමුවේ ඉඩම් මැනීම නවතා දමා තිබේ.

රජය විසින් අලුතින් ඉඩම් මැනීම ආරම්භ කර ඇත්තේ ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් සමග මුහුදු මහා විහාරය දැක බලා ගැනීමට ගිය ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් නැගෙනහිර පුරාවස්තු රැකගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් කාර්ය සාධක බලකායක් පිහිටුවීමත් සමගය.

මුහුදු මහා විහාරයට අයත් බව පවසමින් එම විහාරාධිපති හිමියන් ප්‍රදේශයේ මුස්ලිම් වැසියන්ද පදිංචිව සිටින අක්කර 72 ක භුමි භාගයක් ඉල්ලා සිටීම නිසා පරම්පරා ගණනාවක් තිස්සේ එම භුමියේ පදිංචිව සිටින තමන් මහත් අපහසුතාවයකට පත්ව සිටින බවට මුස්ලිම් ජනතාව මැසිවිලි නගති.

භික්ෂුන් වහන්සේ ඉල්ලා සිටින මුස්ලිම්වරුන් පදිංචි ඉඩම් මැනිමේ කටයුතු සදහා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ජුනි 18 බ්‍රහස්පතින්දා එම ස්ථානයට ගොස් තිබේ.

එහිදී ඔවුන් ප්‍රදේශවාසී ජනතාවට පවසා ඇත්තේ මුහුදු මහා විහාරය දැනට භුක්ති විඳින අක්කර 30 ක භුමියට අමතරව ඉන් පෙර අයත්වු තිබූ බව පැවසෙන අක්කර 72 ක භුමියත් මැනීමේ කටයුතු සිදු කිරීමට අවශ්‍ය බවයි.

එම මානක කටයුතු සදහා විරෝධය දක්වා ඇති ප්‍රදේශවාසීන් පෙන්වා දී ඇත්තේ මුහුදු මහා විහාරයට අයත් බව පවසමින් ඉල්ලන අක්කර 30 ක භුමි ප්‍රමාණයේ අක්කර හය හමාරක් පුරා වසර ගණනාවක පදිංචිව සිටින මුස්ලිම් පවුල් සදහා රජය විසින් ලබා දුන් ජයභුමි ඔප්පු තමන් සතුව පවතින බැවින් නැවත ඉඩම් මැනීමේ කටයුතු සදහා අවස්ථාව ලබා දිය නොහැකි බවයි.

එහිදී ඉඩම් මැනීමේ කටයුතු සදහා ඉඩ ලබා නොදෙමින් ජනතාව විරෝධතා දක්වා තිබෙන අතර තත්වය පාලනය කිරීම සදහා පොලිස් නිලධාරීන්ද කැදවා තිබේ.

එහිදී උද්ඝෝෂණයේ නිරත ජනතාව පොලීසියට හා මිනින්දෝරු බලධාරීන්ට පැහැදිලි කර දී ඇත්තේ එම භුමියේ තමන් පදිංචි ඉඩම් අයිතිය තහවුරු කරමින් රජය විසින් ලබා දුන් ඔප්පු තමන් සතුව ඇති බවයි.

පුරාවස්තු නෑ

පුරාවිද්‍යාත්මක වශයෙන් වටිනාකමක් ඇති බවට තක්සේරු කරමින් පොතුවිල් වෙරළාසන්නයේ පිහිටි අක්කර 72 ක භුමියක් 1951 වර්ෂයේදී නිසි ලෙස මායිම් සලකුනු කිරීමකින් තොරව ගැසට් පත්‍රයක් මගින් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට පවරා දී ඇති අතර වසර 14 ක් තිස්සේ සිදු කළ කැනීම් මගින් පුරා විද්‍යා සාධක හමු නොවුණු හෙයින් 1965 වර්ෂයේදී අක්කර 30 යි රුට් 3 යි පර්චස් 2 ක භුමි ප්‍රමාණයක් සීමා මායිම් සහිතව ගැසට් පත්‍රයක් මගින් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට රජය විසින් පවරා දී තිබෙන බව උද්ඝෝෂකයන් විසින් රජයේ බලධාරීන්ට කරුණු දක්වා තිබේ.

ඔවුන් වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ 1965 වර්සයේදී අක්කර 30 යි රුට් 3 යි පර්චස් 2 ක භුමිය නිසි ලෙස සීමා මායිම් සහිතව ලකුණු කරන විටදීත් එම භුමිය තුළ මුස්ලිම් පවුල් 40 ට වැඩි ප්‍රමාණයක් පදිංචිව සිට ඇති අතර ඔවුන් එම භුමියෙන් ඉවත් කිරීමට රජය කටයුතු කර නොමැති බවයි.

එමෙන්ම එම ජනතාවට එකල ඉඩම් සඳහා බලපත්‍ර තිබී ඇත.

Comments are closed.