‘‘පාසල් විවෘත කිරීම ප්‍රමාද කර තැපැල් මගින් ඉගැන්වීමේ කටයුතු කරන්න‘‘

කොවිඩ් 19 වසංගතයේ අවදානම තවමත් පහව ගොස් නොමැති බැවින් පාසල් ආරම්භ කිරීම තව දුරටත් ප්‍රමාද කර තැපැල් මගින් සිසුන්ට නොමිලයේ ඉගැන්වීම කටයුතු සිදු කරන ලෙස අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය අද (30) මහනුවර අලවතුගොඩ පිහිටි අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැත් වූ මාධ්‍ය හමුවකදී එහි ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා මේ බව කීය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා මෙසේද කීය.

‘‘රජය විසින් මේ වන විට නිකුත් කරල තියෙන උපදෙස්වලට අනුව සති දෙකක් ඇතුළත පාසැල් ආරම්භ කිරීමේ දිනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන බව සඳහන් කරල තියෙනවා.

නමුත් මෙම උපදෙස් සංග්‍රහය අනුව පාසැල් ආරම්භ කිරීමේදී ගැටළු පවතින බව අපට පෙනී යනවා. එහෙම නැත්නම් පාසැල් ආරම්භ කිරීම සඳහා සංගමයක් හැටියට අපි අපේ සම්පූර්ණ සහාය ලබා දෙනවා.

නමුත් සිසුන් වැඩිම ප්‍රමාණයක් ඉන්න පාසැල් ආරම්භ කිරීමේදී ගැටළු කිහිපයක් බලපානවා.

ඒ නිසා අපි යෝජනාවක් හැටියට අපි අධ්‍යාපන අමාත්‍යාංශයට සහ සෞඛ්‍ය බලධාරින්ට ඉදිරිපත් කරන්නේ විදෙස් ශ්‍රමිකයින්ගෙන් තව දුරටත් මේ කොවිඩ් 19 වසංගය මතු වන බැවින් අපට තවමත් අවදානම පහවී නැහැ එම නිසා අවදානම පහව යන තුරු පාසල් පටන් ගැනීම තව දුරටත් ප්‍රමාද කරනවානම් හොඳයි කියන එකයි අපේ තියෙන මතය.

මේ වන විට වට්ස්ඇප් හරහා ඉගැන්වීම් කටයුතු දැනටමත් සිදු වෙනවා. නමුත් දුප්පත් පවුල්වල දරුවන්ට මේ සඳහා අවශ්‍ය පහසුකම් නැහැ තවත් හුඟක් තැන්වල දුරකථන සංඥාත් නැහැ.

ඒ නිසා අපි යෝජනාවක් හැටියට අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපත් කරන්නේ පාසල් ආරම්භ කිරිම ප්‍රමාද කරලා තැපැල් මාර්ගිකව මෙම අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පහසුකම් සලසන්න කියලයි.

දරුවන්ට අවශ්‍ය විෂය කරුණු නොමිලේම නිවසට ලැබෙන්න සලස්වලා දරුවා එම විෂය කරුණු අධ්‍යයනය කරලා අභ්‍යාසයන් සිදු කලායින් පසුව එම කට්ටලයත් පාසලට නොමිලයේම යවන ක්‍රමයක් ඇති කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

එම සිසුන්ගේ නිවසට ආසන්නතම තැපැල් කාර්යාලය මගින් මෙය ක්‍රියාත්මක කරන්න පුළුවන්. පාසැලට ගුරුවරු ටික රැස්වුණා කියලා ගැටළුවක් ඇති වෙන්නේ නෑ.

ඔවුන්ට සමාජ දුරස්ථභාවය රැක ගෙන අවශ්‍ය විදිහට පාසල තුල රැස්වෙන්න පුළුවන්. මීටරයේ දුර තියාගෙන දරුවෝ එවන ටික බලන්නත් පුළුවන්.

ඒ දරුවන්ගේ ප්‍රගතිය සම්බන්ධයෙන් නැවත දරුවන්ට යවන්නත් පුළුවන්. මෙලෙස තැපැල් දෙපාර්තමේන්තුවත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් එක්ව මේ තැපැල් මාර්ගික අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ නම් දුප්පත් පොහොසත් සියලු පවුල්වල දරුවන්ට එක සමාන අධ්‍යාපනයක් ලබා දෙන්න පුළුවන් වන බවද අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ.තිලකරත්න මහතා මෙහිදී කීය.

Comments are closed.