යුද්ධයේදී මානව හිමිකම් රැකීම අසීරු බව ජනපති ඉන්දීය මාධ්‍යයකට කියයි

යුද අපරාධ සම්බන්ධයෙන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් එල්ලවන චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කර ඇති ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා යුද්ධයේදී මානව හිමිකම් කඩවුණු බව වක්‍රාකාරයෙන් පිළිගෙන එය යුක්ති සහගත කිරීමට වීරිය දරා තිබේ.

ඉන්දියාවේ මුල් පෙලේ පුවත්පතක වාර්තාවක් දැඩි ලෙස ප්‍රශ්න කරමින් යවන ලද ලිපියකින් ජනාධිපතිවරයා අඟවා ඇත්තේ යුද ගැටුමකදී පුද්ගලයකුගේ මානව හිමිකම් සුරැකීම සිදු කළ නොහැකි කටයුත්තකි. යුද සමයේත් ඉන් පසුවත් කරන ලද මානව හිමිකම් උල්ලංඝන ගැන ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉහල නිලධාරීන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, පවසා ඇත්තේ “යුද්ධයකදී පුද්ගලයකුගේ මානව හිමිකම් සුරැකීම වර්ෂාවේදී මඩ වගුරු ඇති වනු වළක්වනවාට සමාන ක්‍රියාවක්,”බවයි. ශ්‍රී ලංකා හමුදාව විසින් යුද ගැටුම් පවතින කාල සීමාවේ සහ ඉන් පසුව සිදු කරන ලද මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ චෝදනා මෙන්ම පසුගිය මැයි මස 19වැනිදා පවත්වන ලද එකළොස්වන ‘රණවිරු සැමරුම්’ දිනයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිදු කළ දේශනය පදනම් කරගනිනමින් ‘ද හින්දු’ වෙබ් අඩවියේ පල කළ වාර්තාවකට ප්‍රතිචාර ලෙසින් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද ලිපියක ඒ බව සදහන්ය.

ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් සිය නිවේදනය මගින් දන්වා ඇත්තේ “යුද විරුවන් ඉලක්ක‍ කොට ගෙන කරන චෝදනා ශ්‍රී ලංකාවට රුස්සන්නේ නැත: ගෝඨාභය රාජපක්ෂ” යන මැයෙන් මැයි විසි වැනි දින ‘ද හින්දු’ වෙබ් අඩවියේ මාධ්‍යවේදීනී මීරා සිරිනිවාසන් විසින් පලකරන ලද වාර්තාවක් සම්බන්ධව එම වාර්තාව ‘ඇත්ත තත්වය’ විදහා නොදක්වන බව ජනාධිපතිවරයාගේ අදහසයි.

எங்கள் பேஸ்புக் பக்கத்தை லைக் செய்யுங்கள்..!

යුද්ධයේ ඇති බිහිසුණු බව නිසා ජාත්‍යන්තර මානවවාදී නීති කිසිවෙකුට ‍එරෙහිව චෝදනා එල්ල කීරිමට ප්‍රමාණවත්වන තරම් පැහැදිලිව සුදු කළු ලෙස වෙන් කොට හඳුනා ගත නොහැකි බව වැඩි දුරටත් සඳහන් කරන එම නිවේදනය යුද හමුදා ප්‍රහාරයට සාමාන්‍ය වැසියන් ගොදුරු වීම යුක්ති සහගත කිරීමේ වෑයමක් දරා තිබේ.

“හමුදා මෙහෙයුමකදී සිදුකළ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විනිශ්චය කිරීම සඳහා ඒ වෙනුවට සැලකිල්ලට ගතයුතු වන්නේ වෙන්කොට හඳුනාගැනීමේ සහ යුක්ති සහගත ඉලක්ක පිළිබඳ මූලධර්ම, යුදමය අවශ්‍යතාව සහ සමානුපාතිකතාවයි.”

ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන භාගයේ දී රෝහල් ඇතුළු යුද නොවන ඉලක්ක හා සාමාන්‍ය වැසියන් ප්‍රහාරයට ගොදුරු වීම සමානුපාතිකතා මුලධර්මයට අනුකුලව සිදුවූයේද යන්න පිළිබඳ අවසාන නිගමනයකට ඒම සඳහා විමර්ශනයක් පැවැත්විය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2015 දී නිකුත් කරන ලද වාර්තාවේ නිර්දේශය විය.

ශවේන්ද්‍ර සිල්වා

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කරන ලද වර්තමාන හමුදාපති වරයා “යුද අපරාධවලට ‍චෝදනා ලැබූ ජනරාල්වරයෙක්’ ලෙස ‘ද හින්දු’ වෙබ් අඩවියේ හැඳින්වීම ‘ඉතාමත් ආසාධාරණය බව පවසන ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ එසේ එල්ල කරන ලද චෝදනා ‘සත්‍යතාවයෙන් තොර පදනම් විරහිත’ කාරණා ලෙසිනි.

කෙසේ වෙතත් නඩු නැති ඝාතන ඇතුළු යුද අපරාධ සහ බරපතල මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ට එරෙහිව නැගී ඇති චෝදනා වල විශ්වසනීයත්වය පදනම් කොටගෙන ඇමරිකා එක්සත් ජනපදය විසින් ඔහු ඇතුළු සිය පවුලටම එරටට පැමිණීම තහනම් කර තිබේ.

එවර මුදු ප්‍රතිචාරයක් දක්වමින් ශ්‍රී ලංකාවේ රජය ප්‍රකාශ කර සිටියේ “ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ ජනාධිපතිවරයෙකු ගේ පරමාධිපත්‍යය පිළිබඳව විදේශීය රාජ්‍යයක් මේ අයුරින් ප්‍රශ්න කිරීම කලකිරීමට කරුණක්” බවයි.

මාධ්‍යවේදීනී මීරා සිරිනිවාසන්ගේ වාර්තාවේ සදහන්ව ඇති, යුද්ධය අවසන් කාල සීමාවේ හතලිස්දාහක් මරුමුවට පත් වීය යන්න ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් ප්‍රතික්ෂේප කොට තිබුනේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දක්වන එම සංඛ්‍යා ලේඛණ “අනුමාන කරන ලද” හෝ “නිවැරදි තක්සේරුවක් නොමැති” දත්ත බව පවසමිනි.

කෙසේවෙතත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කරන ලද ගවේෂණ වාර්තා ගණනාවකම දැක්වෙන එම සංඛ්‍යාලේඛන වල ඇත්ත නැත්ත සැකහැර දැනගැනීම පිණිස ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්වීමට යුද පීඩිතයන්ගෙන් මෙන්ම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වලින් කරන ලද ඉල්ලීම් යුද්ධයෙන් පසුව පත්වූ සියලුම ආණ්ඩු දිගටම ප්‍රතික්ෂේප කර තිබේ. යුද්ධයෙන් මියගිය ඥාතීන් අනුස්මරණය කිරීම සම්බන්ධයෙන් උතුරේ ජනතාවට පොලිසිය සීමා පනවද්දී ජනාධිපතිවරයාගේ දේශනය පවත්වන ලද යුද සමරුව ඉහල හමුදා නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් කොළඹ පැවති බව ‘ද හින්දු’ වාර්තා කර තිබුණි.

අධ්‍යාපනය හා ගොවිතැන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක හමුදාව එළිපිටම සම්බන්ධ වී සිටීම පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ මතුවෙමින් තිබෙන හමුදාකරණය පිළිබඳ ගැටළුවක් ලෙස ‘ද හින්දු’ වාර්තාව සඳහන් කර තිබුණි.

එම චෝදනාවද ප්‍රතික්ෂේප කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය අවධාරණය කර ඇත්තේ, “යුද්ධය පැවති ප්‍රදේශවල හමුදාවත් සාමාන්‍ය ජනතාවත් අතර සමීප සබඳතා ගොඩනැඟීමේ අවස්ථා පැහැදිලිව ඉස්මතු වීම” එයට හේතුව වන බවයි.

ජනාධිපතිවරයාගේ හමුදා රෙජිමේන්තුව වන ගජබා බල ඇණියේ සටන් සගයන් ඇතුළු මානව හිමිකම් උල්ලංඝන චෝදනා නැගෙන හමුදා නිලධාරීන් ගණනාවක්ම අලුත් ආණ්ඩුවේ සිවිල් තනතුරු සඳහා මෙන්ම කෝවිඩ් වසංගතයට ප්‍රතිචාර දැක්වීම සඳහාද පත්කරගෙන තිබීම මානව හිමිකම් සංවිධාන විසින් හමුදාකරණය සඳහා උදාහරණ ලෙසින් ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානයට යොමුකර තිබුණි.

Comments are closed.